ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරු – අමාත්‍ය රාජිත සේනාරත්න

Share

ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මම අද දින මහනුවර මහ රෝහලේ යෝජිත සහනදායි රුධිර කාන්දුපෙරණ ඒකක සහ වකුගඩු රෝගීන්ගේ නේවාසිකාගාරයේ ඉදිකිරීම් නිරික්ෂණය කළා. එහි රෝගීන් 160 කට නේවාසිකව ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 55 ක් එහි සවි කරනවා. එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට ද උපදෙස් ලබාදුන්නා. තවද මහනුවර මහ රෝහලේ ඉදිකරන මහල් 10 කින් යුත් පිළිකා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබාදුන්නා. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 1900 ක්. තැලසීමියා රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් මහල් 08 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකරනවා. එහි පහළ මහල දෙකෙහි ඉදිකිරිම් කටයුතු ලබන වසර වන විට අවසන් කිරීමට නියමිතයි. ඉන් පසු අපට තැලසීමියා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන්.

මහනුවර මහ රෝහලේ පැවැති රෝහල් කළමණාකරණ කමිටු රැස්වීමකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය. මහනුවර මහ රෝහලේ අළුතින් ඉදිකරන ලද තැලසිමියා නිවාරණ ඒකකය සහ පරීක්ෂණ සදහා ලේ, මුත්‍රා සාම්පල ලබාගැනීමේ ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව මෙම රෝහල් කළමණාකරණ කමිටු රැස්වීම පැවැත්විනි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල් ගුණවර්ධන මහතා, රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහභාගි වී සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතුයි. ප්‍රසම්පාදන කටයුතු මාස 03 කින් අවසන් කළ යුතුයි. නැතිව නිදහසට කරුණූ කියලා වැඩක් නැහැ. රෝහල් වලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ කඩිනමින් මිල දී ගත යුතුයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාදවීම නිසා ඇතැම් විට හිගයක් ඇතිවෙන්න පුළුවන්. කමිටු වලට දැනට පත් කර නොපැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතිවන අභියෝගවලට එවිට මුහුණ දෙන්න පුළුවන් බව මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසිය.

Read more

Local News