විනයෙන්, හැදියාවෙන් යුත් සමාජයක් ගොඩනැගීම බරපතළ අභියෝගයක් – ජනපති

Share

ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වන ත්‍යාග ප‍්‍රදානෝත්සවය  ඊයේ (16) පැවැත්විණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, දරුවන් විභාගවලට සූදානම් කිරීම මෙන්ම විභාග ප‍්‍රතිඵල හමුවේ ඇතැම් දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන අයහපත් ප‍්‍රතිචාර සහ ඒවා කෙතරම් දුරට ශිෂ්ටසම්පන්නභාවයෙන් තොර ද යන්න පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පාසල් මට්ටමින් කි‍්‍රයාත්මක විය යුතු බවයි.

05 වසර ශිෂ්‍යත්ව විභාගය ඇතුළු අවස්ථා කිහිපයකදී රට තුළ සිදුවූ එවැනි අමිහිරි සිදුවීම් කිහිපයක් සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දරුවන්ගේ මානසිකත්වය සහ ඔවුන්ගේ හැඟීම් පිළිබඳව තරගකාරී මානසිකත්වයකින් තොරව අවධානය යොමු කිරීම පිළිබඳව දෙමව්පියන්ට අවබෝධයක් ලබාදීම දැඩි අවශ්‍යතාවයක්ව පවතින බවයි.

මත් උවදුර, තොරතුරු තාක්ෂණයේ අයහපත් පැතිකඩ ආදීය අද විනයෙන්, හැදියාවෙන් සහ ශිෂ්ටත්වයෙන් යුත් සමාජයක් ගොඩනැගීමේදී බරපතළ අභියෝග බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳව සියලු දෙමව්පියන් අවධානයකින් කටයුතු කළයුතු බවද කියා සිටියේය.

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ද විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News