නීතිවිරෝධිව සේවය කරන ශ‍්‍රමිකයින් පිළිබඳව කිසිදු වගකීමක් භාර නොගනී

Share

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ විදේශයන්හි නීතිවිරෝධිව සේවය කරමින් සිට සිරගතවීමක දී, රෝහල් ගතවීමකදී හෝ මියගොස් ඇති විටකදී දැරීමට සිදුවන වියදම් පිළිබඳව කිසිදු වගකීමක් භාර නොගන්නා බවයි.

ශ්‍රී ලාංකීක ශ‍්‍රමිකයින් මැදපෙරදිග ඇතුලු වෙනත් රටවල්වල ලක්‍ෂ 15ක් පමණ සේවය කරන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇස්තමේන්තු කර ඇත. මින් වැඩි ප‍්‍රමාණයක් මැදපෙරදිග ආශ්‍රිත රටවල විවිධ ක්‍ෂේත‍්‍රයන්හි රැකියා කරන අතර දකුණු කොරියාව, ඊශ‍්‍රායලය, සයිප‍්‍රසය, මැලේසියාව, හොන්කොන් සහ ජපානය  වැනි වෙනත් කලාපීය රටවල සේවයේ නියුතු බව ඔවුහු පෙන්නා දෙති.

අදාළ ආයතනයන්ට මෙම ශ‍්‍රමිකයින් පිළිබඳව ලැබෙන පැමිණිලි සලකා බැලීමේ දී ඉන්  සැලකිය යුතු පිරිසක් තම වලංගු වීසා කාල සීමාව ඉකුත්වීමෙන් හෝ තම නීත්‍යානුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීති විරෝධී ලෙස සේවය කරන බවට කරුණු වාර්තා වී ඇත.

මෙසේ නීත්‍යානුකූල නොවන අයුරින් සේවයේ යෙදී සිටීම අදාළ රටවල නීති රීති උල්ලංඝනය කිරීමක් වන අතර එය දඩ මුදල් ගෙවීම සහ සිරගත කිරීමට හේතුවන වරදක් වේ.

තම ඥාතීයෙකු හෝ හිතවතෙකු  මෙසේ විදේශගත වී නීති විරෝධිව සේවය කරන්නේ නම් ඔහු හෝ ඇය මේ සම්බන්ධව දැනුවත් කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තම වලංගු වීසා කාලය අවසන් වීමෙන් පසුව තවදුරටත් සේවය කිරීමට අවශ්‍ය නම් එය නීත්‍යානුකූලව සිදු කරගන්නා ලෙසද ඔවුන් දැනුවත් කිරීම මෙහිදී වැදගත් වන බව එම කාර්යාංශය  වැඩිදුරටත් සඳහන් කරයි.

මෙසේ නීතිවිරෝධිව සේවය කරන ශ‍්‍රමිකයින් නිසා ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති විශාල තරුණ තරුණියන් පිරිසකට වටිනා රැකියා අවස්ථා අහිමි වන අතර එය එම අපේක්ෂකයින්ට කරනු ලබන බරපතල ද්‍රෝහිකමක් ලෙස සදහන් කල හැකි බව කාර්යාංශය දැනුම් දී සිටියි.

එම රටවල් ශ්‍රී ලංකාව සමඟ පවත්වාන සමීප සබඳතා පලූදුවීමට ද ඉවහල් වන බව තානාපති කාර්යාලවලින් ලැබෙන වාර්තා විසින් පෙන්වා දී ඇති බවද කාර්යාංශය මෙහිදී නිවේදනය කරයි.

Read more

Local News