කොළඹ ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනතා අයිතියට

Share

කොළඹ ජාතික රෝහලේ ඉදි කළ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.
ශ්‍රී ලංකා රජයේ සහ සංවර්ධනය සඳහා වන සවුදි අරමුදලේ ආධාර මත මේ සඳහා වැයකර ඇති මුදල් රුපියල් බිලියන 4.5 කි.
මහල් 10කින් සමන්විත ජාතික අපස්මාර මධ්‍යස්ථානය ලොව දියුණු අධි තාක්ෂණික උපකරණවලින් සමන්විත අතර ස්නායු රෝග සායනය, ස්නායු ඖෂධාගාරය, ජංගම විද්‍යුත් නිකර්පණ ඒකකය, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ මහජන ඇමතුම් පද්ධතියක් ද ඇතුළත්ය.
ඊට අමතරව රෝගීන්ට හා රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින්ට උපදේශන සේවා සහ දේශන ශාලා පහසුකම්වලින් සමන්විත සම්මන්ත‍්‍රණ ශාලාවක් ද වේ. මෙහිදී රෝගීන් සඳහා DSA,PET,SPECT ස්කෑනර් පහසුකම් සලසා ඇති අතර අපස්මාර රෝගීන් 100කට පමණ එකවර නේවාසික පහසුකම් සැලසේ. මෙම වාට්ටු ඒකකය සාමාන්‍ය සහ ගෙවන වාට්ටුවලින් සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර ජාතික අපස්මාර මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි දෙවන මහලේ පිහිටි ශල්‍යාගාරය ද නිරික්ෂණය කරනු ලැබීය. ජාතික අපස්මාර මධ්‍යස්ථානය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් යන මහත්වරුන් ද සවුදි සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ෆවුසි අල්සවුඩ්  මහතා ඇතුළු ආරාධිත පිරිසක් සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News