ඩොලර් බිලියන 8 කට සිදුවු දේ අගමැති කියයි

Share

පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 8ක් වුවත් දින 51ක් තුළ එම සියලු මුදල් රටෙන් ඉවත් කර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි ඉදිකර ඇති  “50K Orchid” සුපිරි අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (01) දින අග්‍රාමාත්‍යවරයා පැවසිය.

අගමැතිවරයා වැඩ්දුරටත් අදහස් අදහස් දක්වමින්  “කොළඹ මහ නගරයක් බවට පත්කිරීමේ සියළු වැඩකටයුතු පසුගිය වසර දෙක තුන තළ දියත් කිරීමට නොහැකි වුනත් මේ වන විට සැහැල්ලු දුම්රිය සේවය කැළණි අළුත් පාලම, වරාය නගරය වැනි වැඩසටහන් ගණනාවක කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

මෙම ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලැබෙන්න තව කෙටි කාලයක් ගතවේවි. බීජිං නුවර ද සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර කාලයක් ගතවන තෙක් එය පැරණි නගරයක් ලෙස දිස් වුනත් වසර පහ හයක් ගතවන විට එහි වෙනස අප දුටුවා.

2018 වර්ෂයේ අගෝස්තු හා සැප්තැම්බර් වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 8ක් පමණ තිබුණා. දැන් එය කඩාවැටී තිබෙනවා. දින 51 කින් මේ මුදල් සියල්ල අපේ රටෙන් ඉවත්කර ගත්තා. මේ තත්වය හමුවේ ආණ්ඩුව කලබල වී රුපියල ආරක්ෂා කිරීම සඳහා තව තවත් මුදල්  වියදම් කළා.

ඒ පියවර නිසා රුපියලේ  වටිනාකම අඩුවුණා. තවදුරටත් රුපියලේ වටිනාකම අඩුවෙන්න දෙන්න බැහැ. රුපියලේ වටිනාකම අඩුවීමෙන් ජීවන වියදම වැඩිවෙනවා.

රුපියල ශක්තිමත් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අප සියලු දෙනාම මුදල් ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා.  ඒ අනුව රුපියල ශක්තිමත් කිරීම සඳහා අප වහා පියවර ගත යුතුයි.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට තිබෙනවා. ආර්ථික කළමණාකරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එය හැම කෙනාටම කළ හැකි එකක් නොවෙයි. පසුගිය දින 51 සිදුවූ හානිය අප දුටුවා.” යැයි පැවසීය.

Read more

Local News