2024 ඔලිම්පික් තරගාවලිය පැරිසියේදී

Share

2024 ඔලිම්පික් තරගාවලිය පැවැත්වීම සඳහා පැරිස් නගරයට ඉඩ දෙමින් තමන් 2028 වසරේ ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් අපේක්ෂකත්වය ඉදිරිපත් කරන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය නිවේදනය කළේය.
අදාළ වසර දෙක සඳහා සත්කාරකත්වය දරන්නේ කවුදැයි යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පසුගිය ජුනි මාසයේදී චන්දය භාවිත කළ ද ඒ ඒ වසරවල සත්කාරකත්වය දරන්නේ කවුදැයි යන්න අපැහැදිලි විය. මේ සඳහා තරගකළේ ප්‍රංශයේ පැරිස් නගරය හා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය පමණි.
ඒ දෙනුවරට ම 2024 වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය විය.
එම නගර දෙක එසේ තරග කිරීමට ඉතිරිවූයේ හංගේරියාවේ බුඩපෙස්ට්, ජර්මනියේ හැම්බර්ග් සහ ඉතාලියේ රෝමය යන නගර ඉන් ඉවත්වීමෙන් අනතුරුවය.

මීට පෙර 1932 සහ 1984 යන වසරවලදී ඔලිම්පික් තරගාවලිය ලොස් ඇන්ජලිස් නුවරදී පවත්වා ඇත.

ලොස් ඇන්ජලිස් නගරය එළඹුණු මේ තීරණය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රසාදයට හේතුවූ අතර එම කමිටුව වෙත ඩොලර් බිලියන 1.8 ක් පිරිනැමීමට ද ලොස් ඇන්ජලිස් නගරය පියවර ගෙන ඇත.
කෙසේවෙතත්, අදාළ සාකච්ඡාවලට සමීප ආරංචි මාර්ගයක් බීබීසී ස්පෝර්ට්ස් වෙත පැවසුවේ 2028 ඔලිම්පික් තරගාවලිය පැවැත්වීම සඳහා ලොස් ඇන්ජලිස් නගරය එකඟ වීමේ තීරණය ගැනීමට, 2024 තරගාවලියේ සත්කාරකත්වය දැරීමට වඩා සැළකියයුතු මුල්‍ය ප්‍රතිලාභ අත්කර දෙන්නක් වීමට ඉඩ තිබීම විය හැකි බවය.
දීර්ඝ කෙරුණු සැලසුම් කාලය වෙනුවෙන් ගෙවීම මෙන්ම තරගාවලිය තෙක් ක්‍රියාත්මකවන තරුණ ක්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් ද ගෙවන මුදල් මෙම අරමුදල්වලට අයත්වේ.
මීට පෙර ලොස් ඇන්ජලිස් ලන්සු කමිටුවේ සභාපති කේසි වසර්මන් පැවසුවේ “නගර දෙකම එක්ව ඔලිම්පික් සහ පැරාලිම්පික් වැඩපිළිවෙල වෙනුවෙන් සේවය කිරීමට සුදානම්” බවය.
මේ අතර ලොස් ඇන්ජලිස් නගරාධිපති එරික් ගාර්සෙටි, 2028 වසරේදී “අපි නැවතත් තරගාවලිය මෙහි ගෙනෙනවා” යැයි පැවසීය.

Read more

Local News