නාගානන්දගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේපයි

Share

බලය අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය කර තිබේ.

වසර තුනකට නීතිඥභාවය තහනමකට ලක් වී සිටින නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු නලීන් පෙරේරා, විජිත් මළල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

නාගනන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ වගඋත්තරකාර විනිසුරුවරු සිය බලය අවභාවිතයට ලක් කරමින් තම නීතිඥ භාවය වසර 3කට තහනම් කිරීමට කටයුතු කළ බවයි.

ඒ තුළින් වගඋත්තරකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්ති පනත යටතේ වරදක් සිදුකර ඇති බවද නාගනන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමෙන් පෙන්වා දුන්නේය.

පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරි කැඳවු අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා පෙත්සමේ පාදක වන කරුණ අධිකරණ කටයුත්තක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට මෙම අධිකරණයට බලයක් නොමැති බව තර්ක කළේය.

එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

Read more

Local News