කථානායකගෙන් විශේෂ නිවේදනයක්

Share

ත්‍රස්ථවාදයේ අමිහිරි අත්දැකීම යටපත් කර නැවතත් සමගි සම්පන්නව එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සාමය ගොඩනැගීමට කැපවිය යුතු බවට සියළු ආගමික නායකයන් සහ බුද්ධිමත් ජනතාව එකම මතයකට පැමිණ ඇති මෙම අවස්ථාවේ දී කවර අන්දමක හෝ ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එක හෙළා ප්‍රතික්ෂේප කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමබව කථා නායක කරු ජයසුරිය මහතා පවසයි.

එම යුතුකම මේ මොහොතේ පැහැර හැරීම නැවතත් මකාදැමිය නොහැකි කැළලක් ඉතිහාසයට එක්කරනු නොවැලැක්විය හැකි බවද ඒ මහතා පවසයි.

රටේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේ දී එවැනි ක්‍රියාවන්ට කිසියම් හෝ සහයක් දක්වන පුද්ගලයන් නිසැකවම අප මාතෘභූමියට ද්‍රෝහි වන්නන් බවත් ඔවුන් තවමත් හය හතර නොදත් කුඩා දරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේ අනාගතය පවා අවධානමකට ඇද දමන බවත් ඒ මහතා පවසයි.

රට තුළ ගිණි ඇවිලවීමට උත්සාහ දරණ එම ජාතිවාදීන් සහ සිය නොදරුවන්ද බිලිදෙමින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගත් ත්‍රස්ථවාදීන් අතර කිසිඳු වෙනසක් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

එම දෙපිරිසම පිටුපස ඇත්තේ ඔවුන්වත් නිවැරදිව අවබෝධ කර නොගත් පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට මානබලමින් සිටින දේශීය හෝ විදේශීය කුරිරු බලවේගයන් බව කථානායකවරයා කළ නිවේදනයේ සඳහන් වේ.

එවැනි බලවේග වල ඉත්තන් බවට පත්ව දුරදිග නොබලා ම්ලේච්ඡ කුරිරු න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන පිරිස් සාමකාමී ජනතාවගේ සාමූහික ශක්තියෙන් ඉඳුරාම පරාජය කළ යුතු බවත් ඔවුන් නීතිය හමුවට පමුණුවා උපරිමයෙන් දඬුවම් කළ යුතු බවත් කරු ජයසුරිය මහතා පෙන්වා දෙයි.

එබැවින් ජනතාව ජාතිවාදී හෝ ආගම් වාදී හින්සනයන්ට පොළඹවන සකලවිධ ක්‍රියාවන් සහ එ් පිටුපස සිටින පුද්ගලයන්ට එරෙහිව ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස නැගීසිටින ලෙසත්, කිසිඳු ලෙසකින් එවන් කුරිරු ප්‍රයත්නයන්ට දායක නොවන ලෙසත්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලාසිටින බව කතානායකවරයා කළ නිවේදනයේ සඳහන්  වේ.

Read more

Local News