දුම්රිය ස්ථාන නවීකරණය සඳහා රුපියල් කෝටි 100 ක්

Share

වසර ගණනාවකින් නවීකරණය නොකළ ප්‍රධාන දුම්රිය ස්ථාන 25ක් ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා 2018 වසරේ රුපියල් කෝටි 100ක් වැය කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ රුපියල් දස ලක්ෂ 55ක වියදමින් ඉදිකළ කුරුණෑගල දුම්රිය ස්ථානයේ 04 වන නව වේදිකාව ජනතා අයිතියට පැවරීම හා මීටර 75 ක් දිග දුම්රිය මාර්ගය සේවා කටයුතුවලට භාරදීමෙන් අනතුරුව කුරුණෑගල දුම්රිය ස්ථානයේ පැවති උත්සව අවස්ථාවකදීය.
“වත්මන් රජය අද පොදු ප්‍රවාහන සේවාව නඟාසිටුවීම සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා. ඉන් ප්‍රධාන තැන දුම්රිය සේවය සඳහා ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ත මගී සංඛ්‍යාවෙන් 42%ක් පමණයි දුම්රිය පරිහරණය කරන්නේ. දුම්රිය සේවාව අද අපි පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිටයි. නමුත් ජනතා සේවාවක් ලෙස සලකා රජය ප්‍රමුඛස්ථානයක් ලබා දී මෙම සේවාව පවත්වාගෙන යනු ලබනවා. මෙම දුම්රිය ස්ථානයේ වේදිකා 04ක් පමණයි තිබුණේ. නමුත් අද මෙම 05 වන වේදිකාව විවෘත කිරීමත් සමග, මගී ජනතාවට වැඩි ඉඩ පහසුකම් ලැබී තිබෙනවා. ඒ වගේම මෙම මගී පර්යන්තය අලුතින් තනා නිම කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 75 ක් පමණ දුම්රිය දෙපාර්තමේන්තුව වැය කර තිබෙනවා. නමුත් දුම්රිය ස්ථාන ගොඩනැගිලි පමණක් ඉදි කිරීමෙන් මෙම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මෙතනට පැමිණෙන මගී ජනතාවට හොඳ සේවාවක් ලබා දීමට කටයුතු කළ යුතුයි”.
කුරුණෑගල ප්‍රදේශය ක්‍රම අටකින් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ අනුව අධ්‍යාපනය, වාරිමාර්ග, සංස්කෘතික, ආගමික, මාර්ග ඇතුළු යටිතල පහසුකම්, රැකියා, කාන්තා ව්‍යවසායකත්ව හා ප්‍රවාහන පහසුකම් යන ප්‍රධාන කරුණු පාදක කර ගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
මෙම අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධීකාරී මහානාම අබේවික්‍රම මහතා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද ප්‍රදේශයේ දේශපාලන නායකයින් පිරිසක්ද සහභාගි වුහ.

Read more

Local News