වසර 3ට වැඩි ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් උපදෙසක්

Share

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් අද(10) නිලධාරීන්ට ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ, දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටළුවකින් තොරව සිදුකරගැනීමට අවකාශ සැලසීම වෙනුවෙනි.

මේ තුළින් යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට ගුරුවරුන් පෙළඹෙනු ඇති බවත්, ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හරහා යම් දිරිගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන සියලු දෙමව්පියන්ගේ දැනගැනීම පිණිස එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කර ඒ අනුව අදාළ අයදුම්පත් යොමුකිරීමට හැකිවන අයුරින්, වඩාත් විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉතිහාසයේ පළමුවරට ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජාතික පාසල්වල 1,5 ,6 සහ 11 ශ්‍රේණි  හැර  අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේ දී ගුරුවරුන් සඳහා වන මෙම වි‍ශේෂ තීරණය බලපැවැත්වේ.

Read more

Local News