රජයේ අරමුණ මෙන්න

Share

සමෘද්ධි හිමිකම් නොලබන ජනතාවක් සිටින රටක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජය ක්‍රියාත්මක කරන අඩු ආදායම් ලබන පවුල් සඳහා සමෘද්ධි සහනාධාර ලබා දීමේ වැඩසටහන යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් පවුල් සඳහා සමෘද්ධි හිමිකම්පත් පිරිනැමීම වෙනුවෙන් අතුරුගිරිය, ශාන්තාලෝකගම දී පැවති උත්සවයකට එක්වෙමිනි.

දිරියෙන් නැගිටින ශක්තිමත් ජනතාවක් රට තුළ බිහි කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි.

එම නිසා සහනාධාර ලබා ගැනීමට පමණක් සීමා නොවී ධෛර්යවන්තව උසස් ජීවන තත්ත්වයක් ගොඩනගා ගැනීමට ඔබ වෙහෙසී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“අපේ රටේ කාන්තාවන් හැකියාවන් අතින් ශක්තිමත් පිරිසක්. ඇඟළුම් කර්මාන්තය, තේ කර්මාන්තය, විදේශ රැකියා වැනි ක්ෂේත්‍ර වලින් ඔවුන් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙනවා.

මගේ පෞද්ගලික ධනය යොදවා ජනතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක කරන දිරිය කාන්තා වැඩසටහනට සම්බන්ධවී අභිමානවත් වූ ව්‍යවසායිකාවක් ලෙස සංවර්ධනය වීමට හැකියාව තිබෙන බවට අපි සහතික වෙනවා. නමුත් ඒ සඳහා සහභාගී වන්නේ ඉතාම අවම පිරිසක්.

ඒ සඳහා එක්වී සැලකිය යුතු ආදයමක් ලබාගනිමින් සමෘද්ධිය නොලබන ධෛර්යවන්ත කාන්තාවක් වීමට ඉදිරිපත් වන ලෙස මම ඔබට ආරාධනා කරනවා. ඇඟළුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක් අපි ලබනවා. නමුත් අපි මෙරටට ඇඳුම්  ආනයනය කිරීමට ඩොලර් බිලියන 13 රටෙන් පිට කරනවා.

අපේ රටේ වෙළෙඳපොළ අපේ රටේ ම නිර්මාණය කිරීමට අපට හැකියාව තිබෙද්දීත් මෙවැනි මුදලක් රටින් පිටට යනවා.

තවත් අවුරුදු දහයකින් පමණ පසුවත්  සමෘද්ධි සහනාධාර ලබන ජනතාවක් සිටී නම් අපි පරාජිත ජාතියක් වෙනවා. දේශපාලකයන්ට රට දියුණු කරන්න නම් ජනතාවගේ සහාය අත්‍යවශ්‍යයි.

ජේ. ආර්., ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වැනි ජවසම්පන්න තරුණ නායකයන් රැසක් රට ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ පෙළගැසී සිටිනවා.

ඒ ජයග්‍රහණයට පක්ෂය සූදානම්. අවුරුදු විසිපහක කාලයක් අපේ පාක්ෂිකයන් සහන සැලසීමට අවස්ථාවක් අපට ලැබුනේ නැහැ. ඒත් අපේ රජයක් යටතේ අපේ පාක්ෂිකයන්ට පමණක් නොව සෑම ජන කොටසකට ම ප්‍රතිලාභ ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

අප අමාත්‍යාංශය මගින්, රජයේ අවම මුදලක් භාවිතා කර ශිල්ප සේනා වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මේ සඳහා සහභාගිවීම තුළින් අනිවාර්යෙන්ම ඔබට විද්‍යා, තාක්ෂණ දැනුම ලබා ගැනීමත් සමගම නිෂ්පාදන අවස්ථාවක් ලබාගෙන ව්‍යවසායකයෙක්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවෙක් බවට පත්වීමටත් හැකියාව ලැබෙන බවට මම සහතික වෙනවා.ඒ සඳහා ධෛර්යවන්තව සහභාගී වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.”

මෙම අවස්ථාවට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යශිකා ආනන්දනී මහත්මිය, කඩුවෙල එක්සත් ජාතික පක්ෂ කළමනාකරු රනිල් ආටිගල මහතා, කඩුවෙල නගර සභාවේ විපක්ෂ නායක ප්‍රේම රංජිත් පෙරේරා මහතා සහ  නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News