ලබන වසරේදී ශ්‍රී ලංකාවේ වන අලි ගහනය පිළිබඳ සමික්ෂණයක්

Share

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ දී අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ලබන වසරේදී ශ්‍රී ලංකාවේ වන අලි ගහනය පිළිබඳ සමික්ෂණයක් පැවැත්වීමට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බවත්, ශ්‍රී ලංකාවේ සිටින අලි ගහනය පිළිබඳව දැනට රජයට නිවැරදි හා පැහැදිලි සංඛ්‍යාලේඛන නොමැති බැවින් 2018 වසරේ අගෝස්තු මාසයේ දී මෙම සමීක්ෂණය පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

දැනට මේ රටේ අලින් 18,000ක් පමණ සිටින බවට සමහරු අනුමාන කළත් එය ස්ථිරව තහවුරු කළ නොහැක. මෙම සමීක්ෂණයේ දී අලි ගහනය ගැනත් අවුරුදු පතා අලි ගහනය වර්ධනය වන අන්දම ගැනත් නිවැරදි තොරතුරු ලබාගත හැකි බවද ඒ මහතා කීය.

පන්සල් හා දේවාලවලට අලින් ලබාදීම ගැන මෙහිදී ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් මීගස්මුල්ල මහතා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට අයදුම්පත් 80ක් පමණ ලැබී ඇති නමුත් එම අයදුම්කරුවන්ට අලීන් ලබාදෙන්නේ දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඇති නිර්ණායකයක් අනුව බව ද පැවැසීය. එමෙන්ම පන්සල් හා දේවාලවලට අලීන් ලබාදුන්නද එම සතුන්ගේ අයිතිය රජය සතුව තබාගන්නා බව ද ලේකම්වරයා අවධාරණය කෙළේය.

මේ අතර දැනට පවතින ඇත්ගොව්වන්ගේ හිඟය මඟහැරීම සඳහා ඇත් ගොව්වන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලබන වසරේ පන්නල ප්‍රදේශයේ පිහිටුවීමට යන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා යවා ඇත.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය යටතේ පවතින සත්ත්වෝද්‍යාන, අලි අනාථාගාර හා උද්භිද උද්‍යානවලින් මේ වසරේ සැප්තැම්බර් 30 වෙනි දා වන විට රුපියල් මිලියන 3380ක් ආදායමක් ලැබී ඇති බවද මීගස්මුල්ල මහතා සඳහන් කෙළේය.

Read more

Local News