සුනාමි ඛේදවාචකයට වසර 13යි – පැරෑලියේ සුනාමි ස්මාරකය අබියස ආගමික වතාවන්

Share

දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසකට ජීවිත අහිමි කරමින් බිලියන ගණන් දේපළ විනාශ කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 13ක් සපිරෙයි.

පසුගිය 2004 වසරේ දෙසැම්බර් මස 26 දා පෙරවරුවේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 35,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව පුද්ගලයෝ 5,000ක් පමණ අතුරුදන් වූහ.

මෙලෙස ඇතිවූ භයානක ව්‍යසන තත්ත්වය හේතුවෙන් අපෙන් සමුගත් ශ්‍රී ලාංකිකයන් සැම අනුස්මරණය කරමින් රටේ සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ආපදා කළමනාකරණ ඒකක හරහා විවිධ වැඩසටහන් සංවිධානය කොට තිබෙන අතර ජාති, කුල, ආගම්, ලොකු, කුඩා, මහලු භේද නොතකමින් දහස් ගණනින් ජීවිත බිලිගත් සුනාමි ඛේදවාචකයට වසර 13ක් සපිරීම නිමිත්තෙන් පැරෑලිය ඇතුළු ස්ථාන ගණනාවක දී විවිධ ආගමික වතාවත් සිදුකිරීමට ද කටයුතු යොදා තිබේ.

මෙහි ප්‍රධාන ආගමික වතාවන් පැරෑලියේ සුනාමි ස්මාරකය අබියස දී පැවැත්වෙන අතර මේ නිමිත්තෙන් පිරිත් දේශනා කරන මහා සංඝරත්නය සහිත විශේෂ දුම්රියක් අද (26) පෙරවරු 6 ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගොස් පෙරවරු 8.10 ට පැරෑලිය සුනාමි ස්මාරකය හමුවේ අගමික වතාවත් සිදුකිරීමට ද නියමිතයි.

අලුත්ගම, හික්කඩුව, ගාල්ල, මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවක දී සුනාමියෙන් මියගිය අය සිහිපත් කර සර්ව ආගමික වතාවත් සිදුකෙරේ. ඊට අමතරව මියගිය සැම අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිහඩතාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර මේ සුනාමි තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, මාලදිවයින, මැලේසියාව, මියන්මාරය, බංග්ලාදේශය, සෝමාලියාව සහ කෙන්යා යන රටවලට ද බලපෑම් එල්ල විය.

2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දැඩිලෙස විනාශයට පත්වූ අතර එමඟින් විවිධ ව්‍යසනයන්හට ලක්වීමට හා ඒවායෙන් පීඩාවට පත්වීමට ඇති ඉඩකඩ ප්‍රදර්ශනය විය. මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයේ අප කේන්ද්‍රයෙන් නැගුණ උදම් රළ පළමුවෙන්ම ඉන්දුනීසියාවට කඩා වැදී තිබෙන අතර ඉන් පසුව ගතවූ පැය කිහිපය තුළ උදම්රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණේ තත්ත්පරයෙන් තත්ත්පරය වටිනා ශ්‍රී ලාංකික ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් අහිමි කරමිනි.

ඒ අතර ලොව බිහිසුණුම දුම්රිය අනතුර හික්කඩුව පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර මඟීන් 1,500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය ඒ බිහිසුණු අනතුරට ලක්විය. සුනාමි රළපහර ශ්‍රි ලංකාව මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටම කඩා වැදුණේ ලක්ෂ 3 කට අධික වටිනා ජීවිත අහිමි කරමිනි.

 

Read more

Local News