ශ්‍රි ලංකා අභිමානය ජාත්‍යන්තරයේ රැව්පිළිරැව් දුන් අවස්ථාවක් මීට හෝරා කිහිපයකට පෙර වාර්තා විය. ඒ එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් Vega Innovations විසින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති Geneva International Motor Show 2020 හිදී ඊයේ (03) දිනයේ දී එළිදැක්වීමත් සමඟිනි.
කෙසේවෙතත් වර්තමානයේ දී ගෝලීය අධිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින කොරෝනා වෛරස වාතාවරණය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සුපුරුදු ආකාරයෙන් නොපැවැත්වුණ ද මෙම ප්‍රදර්ශනය සඳහා එක් වූ මෝටර් රථ ප්‍රදර්ශකයින්, සිය නවතම නිෂ්පාදන එළිදැක්වීමට එය බාධාවක් කරගෙන තිබුණේ නැත.
“මීට අවුරුදු 6කට පමණ EV සුපර් කාර් වෙළෙඳපොළට ප්‍රවේශ වීම අරමුණු කරගනිමින් මේ මුලපිරීම අපි සිදුකළා. මෙය අප ලද සුවිශාල ජයග්‍රහණයක්. කොරෝනා වෛරසයේ බලපෑම මෙම මෝටර් රථ ප්‍රදර්ශනයට බලපෑම් එල්ල කර ඇති අවස්ථාවක දී පවා, මෙලෙසින් Vega EVX සුපිරි මෝටර් රථය එළිදක්වන්න අද අපි කටයුතු කරනවා. මෙම ඉසව්වේ සංවිධාකයින් සමඟ එක්වෙමින් සෞඛ්‍ය හා සුරක්ෂිතතාව පිළිබඳව අපේ දැඩි අවධානය යොමුව තිබෙනවා“, යැයි මෙහිදී අදහස් දක්වමින් හි Vega Innovations අධ්යක්ෂ හා සම නිර්මාතෘ බේෂාන් කුලපාල පැවසීය.
CodeGen International (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Vega Innovations නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද පළමු වරට නිර්මාණය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය වේ. මෙය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ නිපදවන ලද මෝටර් රථයක් ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශන උළෙලක දී කළඑළි බසින පළමු අවස්ථාවයි. එබැවින් Vega EVX යනු මෙරට ඉතිහාසයේ තවත් ඓතිහාසික මංසළකුණකි.
Vega EVX සුපිරි කාරය තත්පර 3.1 ක කාලයක දී පැයට කිලෝමීටර 0 සිට 100ක් දක්වා වේගයක් ලබා ගැනීමට සමත් වේ. ඉලෙක්ට්‍රික් කාරයක් වන මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 270 ක දුරක් ධාවනය කිරීමට තරම් ප්‍රබල බැටරි ධාරිතාවයකින් සන්නද්ධය. දැනට මෙය පැයට කිලෝමීටර 260 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකිවේ.