Tuesday, March 19, 2024.

ජනපති මාධ්‍ය ආයතන ප්‍ර‍ධානීන් හමුවෙයි

Share

66 වසරක් පුරා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකරනු ලැබූවේ ඓතිහාසික කාර්යභාරයක් බව සිහිපත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සැප්තැම්බර් 03 වනදාට යෙදී ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභිමානවත් 66 වන සංවත්සරය සමරන්නේ දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා සාමුහිකත්වයෙන් ගොඩනැඟිය යුතු පුළුල් දේශපාලන වැඩපිළිවෙළක පණිවිඩය රටට ලබාදෙමින් බව කියා සිටියේය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුව අමතමිනි.

රටක් ලෙස මුහුණදීමට සිදුවූ බොහෝ අභියෝග ජයග‍්‍රහණය කරමින් රට ඇදවැටීමට තිබූ ඛේදජනක තත්ත්වයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීමට හැකිවූයේ, සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග නිසා බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රටත්, ජනතාවත් වෙනුවෙන් වූ යුග මෙහෙවර ඉටුකිරීමට සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග ශක්තිමත් කිරීමට කැපවන අතරම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද පිරිසිදු මෙන්ම ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමට තමා කැපවී සිටින බව කියා සිටියේය.

අද රට ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ වංචාවෙන්, දූෂණයෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොරව කටයුතු කරන පිරිසිදු දේශපාලනඥයින් සිටින, පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පටු දේශපාලන න්‍යායපත‍්‍රවලින් බැහැරව රට අංක එකට තබා රට වෙනුවෙන් වූ වගකීම් ඉටුකිරීමට සියලු දේශපාලනඥයින් එක් විය යුතු බව ද අවධාරණය කළේය.

අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමේදීත්, රටේ නායකයා ලෙස ආණ්ඩුවේ කටයුතු ඉදිරියට කරගෙන යාමේදීත් තමන්ට මුහුණදීමට සිදුව ඇත්තේ එදා රට තුළ සමාජ පරිවර්තනයකට කැපවූ නායකයෙකු වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් මුහුණදුන් ආකාරයේ ගැටලුවලටම බව පැවසූ ජනාධිපතිතුමා අතීත නායකයින් රටටත්, පක්ෂයටත් ලබාදුන් නායකයත්වය මෙන්ම ඔවුන් ප‍්‍රශ්න විසඳාගැනීමට කටයුතු කළ ආකාරය අධ්‍යයනය කරමින් සිය දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා පුවත්පත් කතුවරුන්ගේ හමුවේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2017-08-30)

මගේ ආරාධනය පරිදි සහභාගිවන සියලුම මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, මාධ්‍යවේදීන් ඇතුළු ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. එමෙන්ම පැමිණීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. මාධ්‍ය ප‍්‍රධානීන් විදියට තමුන්නාන්සේලා හමුවීමට අදහස් කළේ ලබන මස 03 වැනිදා, පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙල නිමිති කරගෙන අපි ගෙනයන වැඩසටහනේ එක් වැදගත් අවස්ථාවක් ලෙසයි.

අපේ රටේ මාධ්‍යවේදීන් සැමවිටම නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා විශාල කැපකිරීමක් කරලා තිබෙනවා. කරනවා. රටක නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කතා කිරීමේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදියා සතු ඉහළ වගකීම සහ කැපවීම මුළු ලෝකයේම ප‍්‍රජාව විසින් පිළිගන්නා වූ දෙයක්.

අපේ රටේ පසුගිය අවුරුදු දෙකහමාරක කාල සීමාව ගත්විට, 2015 ජනවාරි 08 වැනිදා සිට මේ දක්වා කාලය මේ රටේ කවුරුන් කෙසේ කුමනාකාරයෙන් විවේචනය කළත්, විග‍්‍රහ කළත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ශක්තිමත් වූ යුගයක් සහ කාල සීමාවක් විදියටයි මම හඳුන්වන්නේ. අපි පසුගිය අවුරුදු දෙකහමාරක කාල සීමාව තුළ කළේ මොනවාද? කියන ප‍්‍රශ්නාර්ථය ඇතැම් අය නගනවා. නමුත් අපි 2015 ජනවාරි 08 වැනිදා ඡන්දයෙන් බලයට පත්වන විට මේ රට ආර්ථික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් වැටී තිබුණේ ඉතාමත් බරපතළ අගාධය සෝචනීය තත්ත්වයකයි. එය මම දකින්නේ ජාතික වශයෙන් ඇති වූ ඛේදවාචකයක් ලෙසයි. එය දේශපාලන ඛේදවාචකයක්. ආර්ථික ඛේදවාචකයක්. ඒ නිසා එදා මම හිටපු ආණ්ඩුවේ නායකත්වය බලයේ සිටීමට තවත් අවුරුදු දෙකක කාලයක් තිබියදී සියලු දෙනා එපා කියද්දි තිබුණු සහ එන ප‍්‍රශ්නවලට මුහුණ දීමේ නොහැකියාව නිසා සහ එම අභියෝගවලට මුහුණ දීමට නොහැකි නිසායි මැතිවරණයකට ගියේ. එම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ අපිට ඒ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ තුළ අපිට ජාත්‍යන්තර වශයෙන් තිබුණු බලපෑම්, යෝජනා සහ ඉල්ලීම් සියල්ලම නිදහස් ස්වාධීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විදියට ගළපා ගනිමින් සමතුලිත කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් යථාර්ථවාදී ලෙස සොයමින් රටට සහ රටේ අනාගතයට,

ස්වාධීනත්වයට බලපෑමක් ඇති නොවන ආකාරයට විසඳා ගැනීමට සහ විසඳාගෙන යාමට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීමට පුළුවන්කම ලැබුණා. කවුරුත් කතා කළ ඇතැම් වෙලාවට දැනුත් ඉඳහිට කතා කරන විදුලි පුටුව, යුද අධිකරණය, විදේශ විනිශ්චයකාරවරු ඒ සියල්ලම අපිට නවතා ගැනීමට හැකි වුණා. කවුරුන් ප‍්‍රශ්නය යටගහන්න උත්සාහ කළත් අපි බලයට පත්වන විට අපිට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීම ආරම්භ කරලා තිබුණේ. එම ආර්ථික සම්බාධක පැනවීම බොහෝම පැහැදිලියි. යුරෝපයට මාළු ගැනීම නැවතුනා. අපේ ධීවර මත්ස්‍ය නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නැවතුනා. එමෙන්ම GSP සහනය අපිට අහිමි වුණා. ඒ ආර්ථික සම්බාධකවල ආරම්භය.

2015 ජනවාරි 08 වැනිදා මා ජයග‍්‍රහණය නොකර, මැතිවරණ ප‍්‍රතිඵලය වෙනස් වූවා නම් අද මේ රට තිබෙන තත්ත්වය කෙසේද කියා බොහෝ අය හෘද සාක්ෂියෙන් අහන්නේ නැහැ. මේ කාල සීමාව තුළ අප කළේ මොනවාද කියන ප‍්‍රශ්නය අහනවාට වඩා 2015 ජනවාරි 08 සිදුවූ පරිවර්තනය සිදු නොවුනා නම් මේ වන විට රට තිබෙන්නේ කුමන තැනකද කියන කාරණාව ඉතාමත්ම විමර්ශනාත්මක දේශපාලන බුද්ධියෙන් අධ්‍යයනය කළ යුතු දෙයක්. අපිට විවේචන තිබෙනවා. චෝදනා තිබෙනවා. අපේ රටේ පමණක් නොවේ. ලෝකයේ කිසිම රටක නොහැදුණු ආණ්ඩුවක් අපි හදලා තියෙන්නේ. සම්මුතිවාදී ආණ්ඩුව. මේ ආණ්ඩුවේ සාර්ථක අසාර්ථකභාවය ගැන කතා කරනවා. පිරිසක් අසාර්ථකයි කියා කියනවා. ඒ වගේම තවත් පිරිසක් සාර්ථකයි කියා කියනවා. නමුත් අපිට තිබුණු ආර්ථික අර්බුදය සහ අන්තර්ජාතික වශයෙන් අපි මුහුණදී තිබූ අභියෝග අපිට ජයගන්න පුළුවන් වුණේ පැහැදිලි ලෙසම සම්මුතිවාදී ආණ්ඩුව නිසයි. යම් කෙනෙක් තර්ක කරනවානම් කරුණු ඉදිරිපත් කරනවානම් විවාදාත්මකව ඒ ස`දහා කරුණු පැහැදිලි කරන්න අපි ඕනෑම අවස්ථාවක සූදානම්. අපි මූලික වශයෙන් ඒ තිබුණු ගැටලු නිරාකරණය කරගෙන කටයුතු කරගෙන යනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පවත්වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට, සම්මුතිවාදී ආණ්ඩුවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාත් අපිත් එකට කටයුතු කළ ආණ්ඩුවක අත්දැකීම් සමග. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 සිට මේ දක්වා පැමිණි ගමන් මගේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ගෙවීගිය 66 වසරේදී ඓතිහාසික කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. අන්තර්ජාතික සහයෝගීතාවයන් මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ රටක් ලෙස මුළුමහත් ලෝකයම ශ‍්‍රී ලංකාව හඳුනා ගත්තා. ගෙවී ගිය දශක කිහිපයේ රටක් විදියට ජාත්‍යන්තරය ශ‍්‍රී ලංකාව හඳුනා ගැනීම ඇතුඑ ඒ සියල්ලටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු සහ නායකත්වයන් පුළුල් වගකීමක් ඉටු කර තිබෙනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා නිදහසින් පසු ලංකාවේ අවශ්‍ය පැහැදිලි පරිවර්තනයක් කළ සමාජ පරිවර්තනීය නායකයා ලෙස අපි පැහැදිලිව හඳුන් වනවා. මේ රටේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ ශක්තිමත් පදනමක් ඇති කළ නායකයෙක් එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා. රාජ්‍ය පාලනය පිළිබඳව බණ්ඩාරනායක මැතිතුමාගේ අවුරුදු තුනහමාරක කාල සීමාව පිළිබඳව කියන විට අද ආණ්ඩුවක් විදියට අපි මුහුණ දෙන තත්ත්වයන් විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට මම මුහුණ දෙන තත්ත්වයන්. ආණ්ඩුවක් විදියට කටයුතු කරගෙන යාමේදී ආණ්ඩුවෙන් පිට සහ අභ්‍යන්තරයේ ඇතිවන තත්ත්වයන්. ඒවා පිළිබඳව බොහෝ සමානකම් තිබෙනවා කියා මම හිතනවා. කෙසේ වෙතත් අතීත නායකයින් දුන් ආදර්ශය සහ අතීත නායකයින් ප‍්‍රශ්න විසඳා ගැනීමට කැපවූ ආකාරය ඒවා භාවිතයට ගනිමින් අධ්‍යයනය කරමින් අපිට අනාගතය සාර්ථක කර ගැනීමට පුළුවන් බවයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ.

බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාල පරිච්ඡේදයේදී ඒ යුගය තුළ ලෝකයේ තිබුණු බල කඳවුරුවාදය තුළ ලෝකයේ සමහර රටවල් 1960, 1965 ආණ්ඩු 1970, 1977 ආණ්ඩු කොමියුනිස්ට් ආණ්ඩුවක් විදියට හැඳින්වුවා. 1960, 1965 කාලය ගත්විට ජනසතු කිරීම් කම්කරු සේවක අයිතිවාසිකම් ලබාදීම් ඇතුළු වාම ප‍්‍රගතිශීලි කාර්යයන් රාශියක් රට සහ ජාතිය වෙනුවෙන් ඉටු කරනු ලැබුවා. බණ්ඩාරනායක මැතිතියගේ කාල සීමාව තුළ අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තියේ පුළුල් ඵලදායී ප‍්‍රතිඵලයක් ලෙස නොබැඳි සමුළුව හැඳින්විය හැකියි. එමෙන්ම ඇති කරගත් විදේශ සම්බන්ධතා එම යුගය තුළ සංවර්ධනය සඳහා අපට ලැබුණු ආධාර, අනුබල, ප‍්‍රදානයන් ඒ යුගයෙන් රටට ලැබුණු වටිනාකම් ලෙසයි අප දකින්නේ.

එම අත්දැකීම් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර පවත්වන විට ඉදිරියට යාමේදීත් අතීත අත්දැකීම් පිළිබඳව අපි ලබා ගන්නාවූ දැනුම සහ භාවිතයත් ඒ සියල්ල සමග මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් රටක් විදියට ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. මේ රට පිරිසිදු රටක් විදියට ලෝකයේ පිළිගැනීමක් ඇති කරන්න නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කතා කරනවා වගේම රාජ්‍ය පාලනයේ තිබිය යුතු අපි කතා කරන යහපාලනයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය පවත්වාගෙන යාම පහසු කාර්යයක් නොවේ. දූෂණය, වංචාව, නාස්තිය, අකාර්යක්ෂමතාවය, පසුබෑම රටක් ඉදිරියට යෑමට කිසිසේත් සුදුසු සාධක වන්නේ නැහැ.

ගෙවීගිය කාල සීමාවන් ගත්විට මේ රටේ තිබෙන්නේ, දූෂණය, නාස්තිය, වංචාව ඉහළ සිට පහළටම ගලා ගිය තත්ත්වයක්. ගෙදරක දරුවෙක් හදන්න දෙමව්පියන් දරන උත්සාහය අප කවුරුත් දන්නවා. දරුවෙක් බොහෝ වේලාවට හැදෙන්නේ දෙමව්පියන්ගේ සෙවණ යට. දෙමව්පියන් හැසිරෙන විදියට දරුවෝ බොහෝ වේලාවට හැසිරෙනවා. දෙමව්පියන් කතා බහ කරන දේ දෙමව්පියන්ගේ ක‍්‍රියාකාරිත්ව තමයි දරුවන්ගේ හැසිරීම වන්නේ. ඒ වගේ තමයි රටක පාලකයින්ගේ ආදර්ශය පාලකයින්ගේ තිබෙන්නාවූ පිළිවෙත් රාජ්‍ය පාලනයේ පහළට ගලා යන්නේ. රාජ්‍ය නිලධාරීන් ආදර්ශයට ගන්නේ පාලකයින්ගේ ක‍්‍රියාකාරිත්වය සහ චරිත ලක්ෂණ. රාජ්‍ය නිලධාරියාගේ සිට ඉන් එහාට පහළ සමාජයට ගලා යනවා.

වංචාව, දූෂණය, නාස්තිය ඇතුළු දේශපාලනඥයා කරන කියන දේ තමයි එතැනින් එහාට පහළ සමාජයට ගලායන්නේ. වංචාව, දූෂණය, නාස්තිය, අක‍්‍රමිකතාවය ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොගැළපෙන බොහෝ දේවල් පසුගිය කාලසීමාවන් තුළ ගලාගියා. එය නිවැරදි කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. මිනිසුන් පන්සල් යන්න, බණ අහන්න දක්වන කැමැත්තට වැඩිය නාට්‍ය, චිත‍්‍රපට බලන්න කැමතියි. ඒ වගේම හොඳ දේට නැඹුරුවක් ඇතිකරගන්න පහසු නැහැ. ඒක අද කාලයේ පමණක් නොවේ, බුදුන් වහන්සේගේ කාලයේත් භාරතයේ එහෙම තමයි තිබුණේ. මිනිසුන් වැරදි පැත්තට ඉක්මනින් ආකර්ෂණය වෙනවා. නමුත් හොඳ දේට ඒ නැඹුරුව නැහැ.
අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරනවිට දූෂණ, වංචා, අක‍්‍රමිකතා දින කිහිපයකින් නවතාලන්න බැහැ. මුළු සමාජ දේහයම අපවිත‍්‍ර වෙලා තියෙන්නේ. ඒවා පිරිසිදු කිරීම පහසු කාර්යයක් නොවේ. සමාජ දේහයම සම්පූර්ණයෙන්ම රෝගී වෙලා තියෙන්නේ. ඒ තත්ත්වයෙන් ගොඩගන්න එක පහසු නැහැ. මට සහය දුන්න ඡන්දය දුන්න අය අහනවා ඇයි මේ දේ ඔබට කරන්න බැරි, අපි ඡන්දය දුන්නේ ඔබට ඒ නිසා මේ දේවල් කරන්න කියලා කියනවා. ඒ කියන දේවල් ක්ෂණිකව කරන්න බැහැ. ඒ පරිවර්තනයක් කරන්න බැරි මේ සමාජයට වංචාව, දූෂණය දැන් සමාජයට කාවැදිලා තිබෙන නිසා.

මට ජනාධිපති විදියට ලේකම් නැතිව හොරකම් කරන්න බැහැ. මම හොරකම් කරනවා නම් ජනාධිපති ලේකම්තුමා දැනගන්නවා. ඇමතිවරුනුත් වැරදි වැඩ කරනවා නම් අනිවාර්යෙන් අමාත්‍යාංශ ලේකම් ඒක දැනගන්නවා. ඒක තමා සෑම තැනවම ඇත්ත තත්ත්වය. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අපට තිබෙන අභියෝග ජයගන්න ඕන වෙනවා. ප‍්‍රධාන වශයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය අපි පැවැත්වීම තුළ රටට දෙන ප‍්‍රධාන පණිවුඩය තමයි පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා සියලුදෙනා සතුව තිබිය යුතු සමගිය. අපි යූඑන්පී ද ශ‍්‍රීලනිප ද ටී.එන්.ඒ ද කියන ප‍්‍රශ්නය නෙමේ වැදගත් වෙන්නේ. රට ගෙනියන පැහැදිලි පිරිසිදු දේශපාලන වැඩපිළිවෙළකට ගැළපෙන පිරිසක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා සමාජය තුළ දේශපාලන ක්ෂේත‍්‍රයේ කී දෙනෙක් සුදුසු ද කියන ප‍්‍රශ්නය රටේ ජනතාවගේ හෘද සාක්ෂිය දන්නවා. අපිට අංක එක රට. දෙවනුව තමයි අනෙක් දේවල්. ඒ නිසා අපට අවශ්‍ය කැපවීමෙන් වැඩ කරන පටු දේශපාලන වාසි ලබානොගන්නා අය.

ලෝකයේ රටවල් දියුණු වෙලා තිබෙන්නේ ඒ රටවල්වල සෑම කෙනෙක්ගේම කැපකිරීම හා අවංක භාවය නිසා. ඒ නිසා අපි ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕන. අපි ඒ අඩුපාඩුව දකින්නේ දීර්ඝ කාලයක් පුරා වැරදි පැත්තට යොමුවෙලා ඒවාට හුරුවෙලා තිබෙන නිසා. අද උගත් අලුත් පරපුර මේ රටේ පැහැදිලිවම දේශපාලනඥයින් පිළිබඳව සැකයෙන් ප‍්‍රශ්නාර්ථයෙන් බලන්නේ. එහෙම නම් අපි දැනගන්න ඕන දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉන්න සෑම කෙනෙක්ම වංචාව, දූෂණය නැතිකොට තරුණ පරපුරේ බුද්ධිමතුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ගැලපෙන ලෙස දේශපාලන ව්‍යාපාර ගොඩගැනීමට.

Read more

Local News