ජනපතිට ඇමෙරිකාවෙන් පැසසුම්

Share

රට තුළ සංහිඳියාව ගොඩනැගීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා ගත් පියවරවල ප‍්‍රතිඵල අතිශයින් ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය පවසයි.

නොයෙකුත් විවේචන සහ අභියෝග හමුවේ ජනාධිපතිතුමා ගෙන ඇති එම ඓතිහාසික පියවරවල සාර්ථකත්වය උදෙසා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහය ලබාදෙන බව ද ඊයේ (30)  ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමු වූ එක්සත් ජනපදයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්වරිය ප‍්‍රකාශ කළාය.

යුක්තිය හා සාධාරණත්වය, වාර්ගික සහජීවනය, ව්‍යවස්ථා සංශෝධනය, සාමයේ ස්ථාවරත්වය යනාදී සෑම ක්ෂේත‍්‍රයක් තුළම මේ වන විට ශ්‍රී ලංකාව ප‍්‍රගතියක් ලබා ඇති බව ඇමරිකාව විශ්වාස කරන බව ද ඇලිස් වෙල්ස් මහත්මිය සඳහන් කළාය.

සංහිඳියා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේදී නොයෙකුත් බාධක තිබෙන බව මෙහිදී පෙන්වාදුන් ජනධිපතිතුමා දේශපාලන වශයෙන් අයුතු වාසි ලබාගැනීම සඳහා ජනතාව පෙළඹවීමට ඇතැම් අන්තවාදී කොටස් සංහිඳියා වැඩපිළිවෙළට බාධා කරමින් සිටින නමුත් තම ඉදිරි ගමන් මාර්ගය වෙනස් නොකරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සංහිඳියා වැඩපිළිවෙළේ ප‍්‍රතිඵල වේගවත් නොවුව ද එය ස්ථීර අරමුණක් කරා සෙමෙන් නමුත් සාර්ථකව ඉදිරියට යන ගමනක් බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

පසුගියදා දකුණු ආසියාව සහ ශාන්තිකර කලාපය සඳහා වූ ඇමරිකාවේ නව ක‍්‍රමෝපාය වැඩසටහන සම්පාදනය කිරීමට අනුමැතිය ලබාදුන් බව ප‍්‍රකාශ කළ එක්සත් ජනපද වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්වරිය ඒ යටතේ ද ශ්‍රී ලංකාව වැදගත් හවුල්කරුවෙකු ලෙස එක්සත් ජනපදය සළකන බව සඳහන් කළාය.

ඇමරිකානු විදේශ ආධාර ආයතනය වන සහශ‍්‍ර අභියෝග සහ සංස්ථා වැඩසටහන යටතේ නුදුරේදීම ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරන බව ද ඇලිස් වෙල්ස් මහත්මිය ප‍්‍රකාශ කළාය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම්, ඇමරිකානු තානාපති අතුල් කේෂප් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News