නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය ඇරඹේ

Share

ඉතිහාසයට එක්වන විශේෂතා රැසක් සමගින් ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (20) මේ මොහොත වන විට ආරම්භ වි තිබේ.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පස්වරු 3ට ඇරඹීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එය චාම් උත්සවයකට සීමා වනු ඇත.

මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන, නිදහසින් පසු පළමු අවස්ථාව ද මෙයයි.

1947 දී ඇරඹි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන්නේ වසර 73 කට පසුවය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙයි.

මෙවර මහ මැතිවරණයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුව තුළ බහුතර බලය හිමිකරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය.

ඒ මන්ත්‍රිධුර 145 ක් සමගිනි.

එමෙන්ම සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 54ක් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීධුර 10ක් ද, ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 3ක් ද,  ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රීධුර 2ක් ද, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය මන්ත්‍රී ආසන 2ක් ද, තමිල් මක්කල් විඩුදලෛප් පුලිහල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය එක් මන්ත්‍රී ධුරය බැගින් ලබා ගත්තේය.

මෙවර තේරී පත්වූ ජනතා නියෝජිතයන් අතරින් 81 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයයි.

එම පිරිස අතර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තියවේදීන් ද සිටීමත් විශේෂත්වයකි.

තවත් විශේෂ කරුණක් වන්නේ අවුරුදු 25 – 40 අතර වයසේ පසුවන 25 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටීමයි.

නව පාර්ලිමේන්තුවේ සමස්ත තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය ප්‍රතිශතයක් ලෙස 11%කි.

නව මැතිසබය නියෝජනය කරන ළාබාලම මන්ත්‍රිවරයා වන්නේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාය.

1994 නොවැම්බර් 09 වැනි දා උපන් ඔහු මෙවර අමාත්‍ය මණ්ඩලයේ සිටින ළාබාලම අමාත්‍යවරයා ද වේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේ ළාබාලතම අමාත්‍යවරයා වන්නේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාය.

මේ අතර මන්ත්‍රීවරුන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන වයස අවුරුදු 41-50 කාණ්ඩයට 67 දෙනෙක් ඇතුළත්ය.

වයස අවුරුදු 51-60 කාණ්ඩයට මන්ත්‍රීවරු ගණන 54 දෙනෙකු ඇතුළත් වේ.

වයස අවුරුදු 61-70 කාණ්ඩයට අයත් සංඛ්‍යාව 37ක් ද, අවුරුදු 71-80 වයස් කාණ්ඩය නියෝජනය කරන සංඛ්‍යාව 9කි.

අවුරුදු 81-90 වයස් කාණ්ඩය නියෝජනය කරන තිදෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර වාසුදේව නානායක්කාර, සී.වී විග්නේශ්වරන් සහ ආර්.සම්පන්දන් එම මන්ත්‍රීවරුන් වේ.

2015 මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගත්ත ද එය මෙවර 12 දෙනෙකුට සීමාවී ඇති අයුරු ද දැකගත හැකිය.

ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3%කි.

එමෙන්ම මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරු අද (20) පැවැත්වෙන මංගල රැස්වීමට බන්ධනාගාරයේ සිට පැමිණීමට නියමිතව තිබීම තවත් විශේෂත්වයකි.

අභිනව පාර්ලිමේතුව රැස්වන්නේ මන්ත්‍රීවරු 225 අතරින් මන්ත්‍රීවරු 223 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වීමද විශේෂත්වයක් වන අතර එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මෙතෙක් නම් කර නොමැතිවීම ඊට හේතුවය.

මෙම ජනතා නියෝජිතයන් 223 දෙනාගේ සහභාගීත්වය ඇතිව නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතය.

පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට ආසන වෙන් කිරීමක් සිදු නොකරන අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අසුන් පමණක් වෙන් කර තැබෙයි.

අද පළමු රැස්වීමේ පළමුව සිදු කිරීමට නියමිතව තිබෙන්නේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා නව කථානායකවරයා පත්කර ගැනීමය.

එම ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කරනු ඇති බවට රජයේ අරංචි මාර්ග තහවුරු කර තිබේ.

ඒ අනුව අද පත් කෙරෙන්නේ මෙරට 11 වැනි කථානායකවරයාය.

පසුව නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කථානායකවරයා ඉදිරියේ සිය ප්‍රතිඥාව ලබා දීමට නියමිතය.

අනතුරුව නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු සඳහා නියෝජිතයින් පත්කරගැනීමෙන් පසු සභාවේ කටයුතු පස්වරු 3 දක්වා අත්හිටුවනු ලබයි.

අනතුරුව මෙරට 9 වැනි පාර්ලිමෙන්තුවේ ප්‍රථම සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදු වන්නේ පස්වරු 03.00ටය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

එම උත්සවය සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇත.

අනතුරුව ඇරඹෙන පළමු සභාවාරයේ දී පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කිරීම සිදු කෙරෙයි.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නියෝජිතයෙකු නම් කිරීම ද අද සිදු කිරීමට නියමිතය.

පළමු සභාවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

Read more

Local News