මතක ශක්තිය නැති කරන දරුණු ස්නායු රෝගයක් මෙන්න

මනුස්සයෙක්ගේ මතකය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. අපි හැමෝටම කරන කියන හැමදේම මතකයේ රැදෙන්නේ නැහැ. ඒක ස්වාභාවිකයි. අපේ මතකය නැතිවෙන රෝගයක් තමයි ඇල්සයිමර් රෝගය කියන්නේ. මෙම රෝගය දරුණු ගණයේ ස්නායු රෝගයක්.

 

එය වැළඳීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ මතක ශක්තිය අහිමි වෙලා යනවා. ඒ වගේම පෞරුෂය අහිමි වීම, වෙනදා නිරත වූ දෛනික රාජකාරි මඟ හැරීම වැනි ගැටළු ඇති වෙනවා. මෙම රෝගය සුව කල නොහැකි රෝගයක් සේ ගණන් ගැනෙනවා. නමුත් මුල සිට අවධානයෙන් සිටීමෙන්, රෝගය මුලදීම හඳුනා ගැනීමෙන් එය වලක්වා ගන්න පුළුවන්.

ඇල්සයිමර් රෝගයේ රෝග ලක්ෂණ 

  • මතකය දුර්වල වීම – මුලින්ම සිදු වන්නේ කෙටි කාලින මතකය අහිමි වී යාමයි. නමුත් බොහෝ දෙනා මෙය වයස්ගත වීමත් සමඟ ඇති වන මතක ශක්තිය දුර්වල වීමේ ගැටළුවක් ලෙස වරදවා වටහා ගන්නවා. නමුත් ක්‍රම ක්‍රමයෙන් දිගුකාලීන මතකය පවා අහිමි වෙන්නට පටන් ගන්නවා.
  • සිහි විකල් භාවයට පත් වීම
  • කෝප වීම
  • තනිව සිටීමට උත්සාහ දැරීම
  • ශරීර ක්‍රියාකාරිත්වය කෙමෙන් දුර්වල වීම
  • හැසිරීමේ සහ කතා බහේ වෙනස්කම් ඇති වීම

    බොහෝ විට ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම තිබෙන්නේ අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ටයි. නමුත් ඊට වඩා අඩු වයසේ පුද්ගලයන්ටත් මෙය වැළඳෙන අවස්ථා නැතුවම නොවේ. ඇල්සයිමර් රෝගය ඇති වීමට බලපාන නිශ්චිත හේතුවක් සොයාගෙන නැහැ. නමුත් ඒ පිළිබඳව කර ඇති යම් යම් සොයා ගැනීම් කිහිපයක් පහතින්………

  • මොලයේ ඇති වන විකෘති ප්‍රෝටීන් වර්ගයක් මොලයේ සෛල ක්‍රම ක්‍රමයෙන් විනාශ කරනවා.
  • පුද්ගලයෙකුගේ මතකය පාලනය කරන්නේ මොලයේ ඇති හයිපෝකැම්පසය යන කොටසිනි. එම ප්‍රදේශයේ ඇති ස්නායු විනාශ වීම මෙම රෝගය ඇති වීමට බලපාන බව විද්‍යාඥයින් පවසනවා.

පෙර සුදානම කියන්නේ ඕනෑම ගැටලුවක් විසඳා ගන්න මුල සිට ශක්තිය එකතු කර ගන්නවා වගේ වැඩක්. ඉතින් වයස්ගත වුනාම ඇති වෙන්න පුළුවන් මේ ඇල්සයිමර් රෝගයෙන් බේරිලා ඉන්න නම් ඔබ අද සිට ඔබේ ජිවන රටාවේ විවිධ වෙනස්කම් ඇති කර ගත යුතු වෙනවා.

ඇල්සයිමර් රෝගයෙන් ම්දි සිටිමට නම්…

ගණිත ගැටළු විසඳන්න – ගණිත ගැටළු, ප්‍රෙහේලිකා වැනි දේවල් විසඳීමට උත්සාහ කිරීමෙන් ඔබේ මතක ශක්තිය ඉහල යනවා. ඔබේ මොලයේ ක්‍රියාකාරිත්වය පහල වැටෙන්නට ඉඩ ලැබෙන්නේ නැහැ.

ව්‍යායාම කිරීම – තරුණ වයසේ සිට ව්‍යායාම් කරන පුද්ගලයෙක්ට ඇල්සයිමර් රෝගය වැළඳෙන්න තියෙන ඉඩ කඩ 50%කින්ම අඩු බව හොයා ගෙන තියෙනවා. රුධිර සංසරණය ප්‍රාණවත් වෙලා, මොලයට හිතකර හෝමෝනයන් ක්‍රියාකාරී වෙන්න ව්‍යායාම හේතුවක් වෙනවා.

තනි වෙන්න එපා – සමහර පුද්ගලයන් පවුල තුලම හුදෙකලා වෙනවා. ඔබේ සැමියා හෝ බිරිඳ සමඟ ගතින් එක් වී සිටියත්, සිතට තනිකමක් දැනෙනවා නම් ඔබ ඉන්නේ අවදානමක. මිතුරන් ඇති කරගෙන, සමිති සමාගම් වල සාමාජිකත්වය අරගෙන ඔබේ තනිකම ඉක්මනින්ම නැති කර ගන්න.

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම –හොඳ සුවදායි රාත්‍රී නින්දකට හුරු වීමෙන් මෙම රෝගය වැළඳීමේ අවදානම පහල බසිනවා.

භාවනාවට හුරු වන්න – ඔබේ මොලයට භාවනාව කියන්නේ හොඳ ප්‍රතිකර්මයක්. මොලයේ වෙහෙසකාරී බව දුරු කරන්න, සංසුන් වෙන්න භාවනාව ඔබට උදව් වෙනවා.

මානසික පීඩනයෙන් කල් ගත කරන්න එපා – අපි හැමෝටම ප්‍රශ්න ඇති වෙනවා. දුක සහ මානසික පීඩනය අපිව වෙලා ගන්නවා. නමුත් ඔබ ඒවා ඉක්මනින්ම දුරු කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. දිගින් දිගටම මානසික පීඩාවක එල්බගෙන හිටියොත් ඔබේ මොලයේ සෛල වලට හානි වෙන්න ඉඩ තියෙනවා.

සීනි භාවිතය අඩු කිරීම – රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වුනාම ඔබට වැළඳෙන එකම රෝගය දියවැඩියාව විතරක් නෙවේ. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහල යෑමෙන් මොළයටත් හානි පැමිණෙනවා.

ඇල්සයිමර් රෝගය වැළඳුනු රෝගියෙකුට ඉක්මනින් දේවල් අමතක වන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. අමතක වීම නිසා සිදු වන වැරදීම් වලට කෝප වීමෙන් වලකින්න. රෝගියා යා යුතු ස්ථාන වලට ඊතල වලින් සටහන් කර තබන්න. රෝගියාගේ නිතර අවශ්‍ය වන භාණ්ඩ රෝගියාගේ ඇස ගැටෙන සේ තබන්න. රෝගියාව තනි කිරීමෙන් වලකින්න. එය රෝගය උත්සන්න වීමට හේතු වේවි. නිතරම රෝගියා සමඟ කතා කරන්න.

මෙවැනි ක්‍රියාකාරකම් තුලින් ඔබටත් මෙම රෝගයෙන් වැළකී සිටිමට හැකියාව පවතිනවා.