නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න ගැන සොයා බැලීමට විදෙස් විශේෂඥයින් පිරිසක් දිවයිනට

Share

නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න පිළිබඳ සොයා බැලීම සඳහා දස දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් අද(06) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

 

ආපදාවට පත් නෞකාව අයත් සමාගමේ මැදිහත්වීම මත බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිත බව නාවික හමුදාව පවසයි.

එම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව විසින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇත.

නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40ක් හෙවත් කිලෝමීටර් 74ක් දක්වා ගැඹුරු මුහුදේ මේ වන විට රඳවාගෙන ඇති අතර දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ක්‍රියාත්මක ය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සමග කටයුතු කිරීමට ඊයේ දහවල් සිට තවත් ඉන්දීය නෞකා දෙකක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබේ.

නාවික හමුදා නෞකා 03ක්, වේග ප්‍රහාරක යාත්‍රා 03ක්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් සහ ඉන්දීය නෞකා 06ක් ඇතුළු ටග් යාත්‍රා කිහිපයක් ද ගින්න නිවීමේ කටයුතු සඳහා දායක වී සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ “MI17“ වර්ගයේ හෙළිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක් මගින් අවශ්‍ය පහසුකම් සලසමින් සිටියි.

නෞකාව මගින් සාගරයට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන විට පැන නැගී නොමැති බව නාවික හමුදාව සඳහන් කරයි.

Read more

Local News