දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිව යුතු සියලුදෙනා සාමුහික වැඩපිළිවෙළකට එක්විය යුතුයි – ජනපති

Share

එදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුව තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිව යුතු සියලුදෙනා සාමුහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (08) පෙරවරුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලය විසින් “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.

ගෘහස්ථ ළමාහිංසනය, ලිංගික අපයෝජනය, අපරාධ සඳහා ළමුන් යොදා ගැනීම සහ ළමා ශ‍්‍රමය සූරාකෑම ඇතුළු වත්මන් ළමා පරපුරට මුහුණදීමට සිදුව ඇති හිංසනයන්ගෙන් ඔවුන් මුදාගෙන සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.

මේ යටතේ සෞඛ්‍ය අධ්‍යාපනය, මනෝ උපදේශනය සහ නීති උපදේශනය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බලගැන්වීමට නියමිතය.

වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර දිවයින පුරා පළාත් දිස්ත්‍රික්ක සහ ප‍්‍රාදේශීය මට්ටමින් වැඩසටහන කි‍්‍රයාත්මක කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ආගමික නායකයින්, දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරින් මෙන්ම සමාජයේ සෑම පුරවැසියෙක්ම ඒකරාශී විය යුතු බවයි.

පසුගියදා වාර්තාවූ විද්‍යා දැරියගේ අමානුෂික ඝාතනය ඇතුළු දරුවන්ට අත්විදීමට සිදුවූ අමිහිරි අත්දැකීම් රැසක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා පාසලේදී, මහමගදී මෙන්ම නිවසේදී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිවයුතු සියලුදෙනා ඒකරාශී වූ පුළුල් වැඩසටහනක් අවශ්‍ය බවද කියා සිටියේය.

“දරුවන් සුරකිමු” 2017-2019 ජාතික සැලැස්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් මෙහිදී ජනාධිතිතුමා වෙත පිළිගැන්වීය.

“ශ්‍රී ලංකාවේ ළමා ශ‍්‍රමය තුරන් කිරීම පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තිය” කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප‍්‍රවේශ මාර්ග හා අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

“අනාගතය දිනන දරුවෝ” වැඩසටහන යටතේ සකස් කළ ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News