මෙරට සුහුරු තාක්ෂණවේදීන් නිර්මාණය ප්‍රමුඛ අවශ්‍යතාවක් – ජනපති

Share

ලංකාව නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් “සුහුරු තාක්ෂණවේදීන්” නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බවයි.

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයක දී ආරම්භ කිරිමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන අතර ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා කලා විෂයන්, හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර  රැසකින් හැකියාවන් වර්ධනය කර ගත හැකි බව සඳහන් කර තිබේ.

විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතයට ගැළපෙන පරිදි හඳුන්වාදීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටලු රැසකට විසඳුම් දිය හැකි බව ද එහිදී විශේෂඥයින් පෙන්වා දී තිබේ.

තාක්ෂණ විෂයන්ට අදාළ ආචාර්යවරු සහ උපදේශකවරු බඳවා ගැනීමේ දී පහළ මට්ටමක පවතින වැටුප් පරිමාවන් දැඩි සේ බලපා ඇති බව ආයතන ප්‍රධානීන් විසින් පෙන්වා දුන් බව ජනාධීපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Read more

Local News