අභිරහස් ලෙස මියගිය දැරියකගේ සිරුර ඇළ මාර්ගයක තිබී සොයා ගැනේ

Share

අභිරහස් ලෙස මිය ගොස් සිටි දැරියකගේ මළ සිරුරක් කොත්මලේ ජලාශයට ජලය සැපයෙන ඩෙස්පෝඩ් ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබිය දී අද(29) උදෑසන සොයා ගෙන තිබේ.

 

මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි පාසල් සිසුවියක් බවට නානුඔය පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

තම දියණිය ඊයේ(28) රාත්‍රී 10.30 පමණ වනතුරුත් නිවසේ පාඩම් කටයුතුවල නිරතව සිටි බවත්, පසුව පාන්දර 2.30ට පමණ අනෙක් දරුවාගේ අවශ්‍යතාවයක් මත අවදි වී බලන විට දියණිය නිවසේ නොසිටි බව දැරියගේ මව පවසයි.

පසුව ඇයව නිවස ආසන්නයේ සෑම ස්ථානයකම සොයා බැලූ බවත් මව විසින් පොලීසියට පවසා තිබේ.

තේ දළු නෙළීමට යමින් සිටි වතුයායේ වතුකම්කරුවන් පිරිසක් පළමුව මෙම දැරියගේ සිරුර දැක පසුව පොලීසියට දන්වා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

Read more

Local News