පුද්ගලයෙකු ඝාතනය කළ අයෙක්ට මහාධිකරණයෙන් දුන් දඬුවම

Share

පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් මරණීය දණ්ඩනය නියම කළාය.

 

මොහොමඩ් නව්ශාඩ් ඩූල් නෞෂාඩ් නැමැති විත්තිකරුවෙකුට එලෙසද දඬුවම් නියම වුණි.

2002 වසරේ ජුනි මස 16 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ටෝනි නැමැති පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එම විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණි.

මෙම විත්තිකරු විසින් මරණකරුගේ ශරීරයට පිහියෙන් ඇන තුවාල විසිහතක් සිදුකර තිබූ බව නඩු විභාගයේදී අනාවරණය වූ බව අප වාර්තාකරු පැවසීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බව තීන්දු කළාය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවද තීන්දුවෙන් සඳහන් වුණි.

මරණීය දණ්ඩනය නියම වූ එම විත්තිකරු නඩු විභාගය අතරවාරයේදී අධිකරණය මඟහැර සිටි අතර පසුව කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එම චෝදනාවම එල්ල වී සිටි මොහොමඩ් සාලි හසිත් නැමැති තවත් විත්තිකරුවෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය තීන්දු කළේය.

Read more

Local News