උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට සිසුන්ට අවසර

Share

උසස් පෙළ ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

 

ගිණුම්කරණය විෂය සඳහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වේ.

රට තුළ මතුව පවත්නා තත්වය හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන් හි විභාග මධ්‍යස්ථාන 638 ක් ක්‍රියාත්මක වන බවද, එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

විභාග අපේක්ෂකයන් කල්වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ට ද දැනුම් දී ඇත.

තවද, ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා දින පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඔක්තෝබර් 22 දින සිට අද දින තෙක් පැවැති බව ද කුලියාපිටිය සහ ගම්පහ හැර දිවයින පුරා, විභාග මධ්‍යස්ථාන 391 ක් යොදාගනිමින් පිළිතුරු ඇගයීම් කටයුතු සිදුකළ බවද විභාග කොමසාරිස් වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News