හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීම ලබන 25 වනදා සලකා බැලේ

Share

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 20ක සිර දඬුවම් නියම වී සිටින, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම මහතා මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම අද(18) අධිකරණයේදී කැඳවිය.

 

එහිදී ඇප මත මුදාහරින මෙන් ඉල්ලා මහානාම මහතා විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම විභාග කිරීමේ හැකියාව පිළිබඳ තීන්දුව ලබන 25 වනදා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දැනුම්දී තිබේ.

වර්තමානයේ වැලිකඩ බන්ධනාගාරය තුළ කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර තම සේවාදායකයා හෘද රෝගියෙකු වන බැවින් ඔහු ඒ තුළ තවදුරටත් රැඳී සිටියහොත් ඔහුගේ ජීවිතයට පවා අනතුරක් සිදුවීමට ඉඩකඩ පවතින බව මහානාම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

එය සුවිශේෂී කරුණක් සේ සලකා තම සේවාදායකයා ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිර දඬුවමට එරෙහිව විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය ලබන 26 වනදා විභාගයට ගැනීමට නියමිතව බව පෙන්වා දුන්නේය.

එම වාතාවරණය මත මෙම ඇප ඉල්ලීම විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබේද? යන්න බරපතළ ප්‍රශ්නයක් මතු වන බවත්, රජයේ නීතිඥවරයා සිදු කළ කරුණු දැක්වීමත් සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඒ පිළිබඳ තීන්දුව ලබන 25 ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

Read more

Local News