කොවිඩ් වෙෙරසයට එරෙහි එන්නතකින් මිලියන 100ක් නිෂ්පාදනයට ඉන්දියාවේ එකඟත්වය

Share

මේ වන විටත් ලොව පුරා කොරෝනා වෙෙරසය පැතිරි තිබෙන අතර ඉන්දියාව වසරකට, රුසියාවේ ‘ස්පුට්නික් 5’ නව කොරෝනා වෙෙරසය වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

රුසියාව එන්නත නිෂ්පාදනය කිරීම සඳහා රුසියාවේ ආයෝජන අරමුදල වන ‘රෂියා ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් (ආර්.ඩී.අයි.එෆ්)’ සහ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි ඖෂධ සමාගමක් වන හිටාරා බයෝෆාමා සමාගම අතර ගිවිසුමකට ද අත්සන් තබා ඇත.

රුසියාවේ ප්‍රධානම වෛද්‍ය පර්යේෂණ ආයතනය වන ගැමලෙයා ආයතනයේ විද්‍යාඥයෝ ‘ස්පුට්නික් 5’ එන්නත සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ හා අත්හදා බැලීම් කරමින් සිටිති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙම පර්යේෂණ හා අත්හදා බැලීම් කෙරෙන අතර මේ සියලු කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ රුසියාවේ ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ් ආයතනයයි.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 40,000කට ආසන්න පිරිසක් සහභාගී කරවා ගනිමින් ගැමලෙයා පර්යේෂණ ආයතනය ඉකුත් දා අත්හදා බැලීමක් කර තිබිණි. එය තෙවැනි අදියරේ සායනික පරීක්ෂණයක් බව වාර්තා වෙයි.

ඒ අනුව දෙවැනි අන්තර්වාර විශ්ලේෂණයේ දත්තවලට මෙම එන්නත 91.4%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ගැමලෙයා මධ්‍යස්ථානය සහ ආර්.ඩී.අයි.එෆ් ආයතනය නොවැම්බර් 24 වැනිදා නිවේදනය කළේය.

‘ස්පුට්නික් 5’ එන්නතේ තෙවැනි අදියරේ සායනික පරීක්ෂණවලට මේ වනවිට අවසරය හිමි වී තිබෙන අතර බෙලරුසියාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, වෙනිසියුලාව සහ තවත් රටවල් කිහිපයක ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙයි. දෙවැනි හා තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සඳහා ඉන්දියාව, චීනය, දකුණු කොරියාව සහ තවත් රටවල් කිහිපයක අවසරය හිමි ව ඇත.

රටවල් 50කට ආසන්න සංඛ්‍යාවකට මෙම එන්නත ලබාදීමට බලාපොරොත්තු වන අතර මේ වනවිට එන්නත් මාත්‍රා බිලියන 1.2කට ආසන්න සංඛ්‍යාවක් ඇණවුම් කර ඇතැයි ආර්.ඩී.අයි.එෆ් ආයතනය සඳහන් කරයි.

‘ස්පුට්නික් 5’ එන්නතට කඩිනම් අනුමැතිය ගැනීම සඳහා ආර්.ඩී.අයි.එෆ් ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානයට අයඳුම් පත්‍රයක් ද යොමු කර ඇත. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තු ගත කිරීම යනුවෙන් හැඳින්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම අවසරය ලැබුණු පසු ගෝලීය හදිසි මහජන සෞඛ්‍ය ආපදා තත්ත්වයකදී නව හෝ බලපත්‍ර නොලත් ඖෂධ නිෂ්පාදන ගෝලීයව භාවිත කිරීමට අවසරය ලැබේ.

Read more

Local News