ඉන්ධන මිල සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය

Share

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විචලනය වුවද ස්ථාවර ඉන්ධන මිලක් පවත්වා ගෙන යාම නව රජයේ ප්‍රතිපත්තිය වන බව ගරු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

සෑම ආණ්ඩුවක් යටතේම තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වන බැවින් විකල්ප බලශක්ති මුලයන්ට යෑමේ ප්‍රවේශයන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත ය‍ාපාබණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

තවදුරටත් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ විචලනය වන ඉන්ධන මිල පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන බහුතරයක් ජනතාවට තදින් දැනෙන සුළු බැවින් ස්ථාවර මිලක් පවත්වා ගෙන යාමට පවතින රජය තීරණය කර ඇති බවත්, ඒ අනුව ස්ථායිකරණ අරමුදලක් බිහි කිරීම පිළිබද වැඩිදුර අධ්‍යයන සිදු කෙරෙමින් පවතින බවත් ය.

එමෙන්ම, මින් පෙර ඛනිජ තෙල් ප්‍රවාහනය දුම්රිය ගමනාගනය ඔස්සේ සිදු කළ අතර ඒ හේතුවෙන් පේරාදෙණිය වැනි දුම්රිය ස්ථාන ආශ්‍රිතව ගබඩා පහසුකම් සංවර්ධනය කළ නමුත් බවුසර් මගින් වර්තමානයේ ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීමේ ප්‍රවණතාවය වැඩි බැවින් ගමනාගමන තදබදය ඉහළ ගොස්‌ ඇති බවටත්, සම්පත් නිසි ලෙස භාවිතා නොවන බවටත් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා විසින් බලශක්ති අමාත්‍යවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.

එයට එකඟ වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ තදබදය හා සම්පත් භාවිතයට අමතරව එය වියදම අධික ක්‍රමවේදයක් බවත්, එමගින් පරිසර දුෂණය සිදුවන බවත් ය. දැනට 35% දුම්රිය මගින්ද, 65% බවුසර් මගින්ද, ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීම සිදුවන බවත් ඉදිරියේදී බවුසර් හා දුම්රිය ගමනාගමය අතර ඇති සමතුලිතතාවයට රැක ගනිමින් 60% දක්වා දුම්රිය ගමනාගනය ඔස්සේ ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීම සඳහා කටයතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ඛනිජ තෙල් පොදු ගබඩා පර්යන්තයේ ආයතනික අතපසුවීමක් මත සේවකයන් පිරිසක් ස්ථිර කරීමේ ගැටළුවක් පවතින බවත් ඒ සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කොට එම සේවක පිරිස හට සාධාරණයක් ඉටු කර දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඉල්ලීමක් කළ අතර ඒ පිළිබඳව මාසික කළමණාකරන රැස්වීමේදී සාකච්ඡා කොට කඩිනම් පිළිතුරක් ලබා දෙන බවට බලශක්ති අමාත්‍යවරයා කීවේය.

බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ගුණතිලක රාජපක්ෂ, වසන්ත ය‍ාපාබණ්ඩාර, උදයන කිරිඳිගොඩ, චන්දිම වීරක්කොඩි, කේ. දිලීබන්, ශාන්ත බණ්ඩාර, චාල්ස් නිර්මලනාදන්, නිරෝෂන් පෙරේරා, ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරු ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු සහභාගී වුහ.

Read more

Local News