වාර්ෂිකව විදේශ විනිමයක් මෙරට ඉතිරි කර ගත හැකි ඖෂධයක් වෙළෙඳපොළට

Share

සෞභාග්‍යයේ දැක්ම ‘අලුත් රටට අලුත් බෙහෙත්” සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත හයිඩ්‍රොක්සි ක්ලොරොක්සින් සල්ෆේට් ඖෂධය වෙළෙඳපොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.

 

මෙම ඖෂධය නිෂ්පාදනයෙන් රුපියල් මිලියන 14.79 ක මුදලක් වාර්ෂිකව විදේශ විනිමයක් ලෙස මෙරට ඉතිරි කර ගත හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

මසකට එක් ඖෂධයක් වෙළෙඳපොළට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඖෂධය හඳුන්වා දීම සිදුකෙරිණ.

රූමැටික් ආතරයිටීස්, මැලේරියා රෝගීන්ට මෙම පෙත්තක් වෙළෙඳපොළෙන් රුපියල් 16.60ක් වැනි මුදලකට ලබා ගත හැකිය.

මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 75ක් නිෂ්පාදනය කිරීම ජනාධිපතිවරයාගේ සංකල්පය වන බවත් එම සංකල්පය සාක්ෂාත් කර ගැනීමට ඉදිරි වසර කිහිපයේදී හැකි වන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්වරු සහභාගී වූහ.

Read more

Local News