නව ඔසුසල් 20ක් ලබන වසරේ ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක්

Share

මෙතෙක් කලක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලට ගත් ඖෂධ 100කට වැඩි සංඛ්‍යාවක්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා මිලදී ගැනීම මගින් රුපියල් මිලියන 1138ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සහ සැපැයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

 

අභියෝග මධ්‍යයේ වුවද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට මෙම වසරේ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකි වූ බවත් පෙති කරල් 2273ක් සැප්තැම්බර් මස අග වන විට නිෂ්පාදනය කර ඇති බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එමගින් පසුගිය වසරට වඩා රුපියල් මිලියන තුන් ගුණයක් ලාභයක් ලබා ඇති බවද පැවසීය.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අද(30) දින පාර්ලිමේන්තු විවාදය ආරම්භකරමින් මහාචාර්ය චන්න ජයසුමන මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රජය බලයට පත්වන විට පිළිකා රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග 40ක හිගයක් තිබූ බවත් එහෙත් අද වන විට එම ඖෂධ හිගය සම්පූර්ණ කර ඇති බවයි.

වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලය ලබා දුන් සේවය අගය කරන බව පැවසූ අමාත්‍යවරයා එම සේවකයන් වෙනුවෙන් පසුගිය සතියේ වැටුප් වර්ධකයක් ලබා දීමටද කටයුතු කළ බව සදහන් කළේය.

තවද වසංගතය හමුවේ ඖෂධ නිවාස වළටම ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බවද එය ඉතා සාර්ථක බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසංගතයෙන් පසුව වුවද එම වැඩපිළිවෙළ දීප ව්‍යාප්ත වශයෙන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවද පැවසීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව ඔසුසල් 20ක් ලබන වසරේ ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 65ක භූමි ප්‍රමාණයක නව කර්මාන්ත ශාලාවක් ඉදි කිරිමට සැළසුම් කර ඇතැයිද කීය. අක්ෂි කාච නිෂ්පාදනය, හෘද රෝග සඳහා ස්ටෙන්ට් නිෂ්පාදනය මෙහදී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ.නාගරික සංවර්ධන අධීකාරියේ සහයෝගය සමගින් මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කෙරේ.

ජාතික ඖෂධ තත්ව ආරක්ෂක පර්යේෂණාගාරය ඉදි කිරීම සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ අක්කර 03ක ඉඩමක් ලබා ගෙන තිබෙන බවත් තවද හම්බන්තොට සහ මත්තල මූලික වශයෙන් අපනයනය මුල් කරගෙන ඖෂධ නිෂ්පාදන කළාපයක් ඉදි කරන බවත් ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී දේශීය ව්‍යවසායකයින්ව, බටහිර ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරන සියළුම ඖෂධ ලබා දිය හැකි අවම මිලට ලබා දීමට කටයුතු කරන බවද මීට පෙර නිෂ්පාදනය නොකළ නව ඖෂධයක් සෑම වසරකදීම එළි දැක්වීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙරටට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය ඉදිරියේදී මෙරටදීම නිෂ්පාදනය කෙරේ.

Read more

Local News