සෑම ප්‍රදේශයකම අහඹු නියැදි පරීක්ෂණයන් සිදු කිරීමට පියවර

Share

කොරෝනා වෙෙරසය රට තුළ නැවත ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන ලෙස අහඹු නියැදි පරීක්ෂණයන් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය.

 

අහඹු නියැදි පරීක්ෂණ ක්‍රම කිහිපයක් යටතේ සිදු කරන බවත් කිසියම් ආකාරයකට ආසාදිතයකු වාර්තා වුවහොත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගොස් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට කටයුතු කරන බවත් ඇමැතිවරිය පැවසුවාය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

සෑම දිස්ත්‍රික්කයකම සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස නියෝජනය වන පරිදි අහඹු ලෙස පුද්ගලයන් තෝරා ගෙන දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර සමස්තයක් ලෙස එම තොරතුරු සාරාංශගත කර විශ්ලේෂණය කිරීම, මූලික රෝහල් මට්ටමේ සිට ඊට වඩා ඉහළ මට්ටම්වල තිබෙන රෝහල්වල බාහිර රෝග අංශයට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීම, වයිරසය ව්‍යාප්ත විය හැකි අධික අවදානමක් පවතින ප්‍රදේශවල පුද්ගලයන් තෝරා ගෙන අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීම, නීති විරෝධී ලෙස රටට ඇතුළු විය හැකි මුහුදුබඩ ප්‍රදේශවල පිහිටි රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීම, ස්වසන රෝග පවතින පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීම, කොවිඩ් ආසාදනය වීම නිසා මරණයට පත් වූයේ යැයි සැකයක් පවතින මෘත දේහ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීම, කොවිඩ් ආසාදනය වීමට වැඩි ඉඩකඩක් පවතින වෘත්තීය කාණ්ඩ හා ආයතනවල සේවය කරන පුද්ගලයන් තෝරා ගෙන දිනපතා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීම යනාදිය සිදු කරමින් කොවිඩ් රෝගය නැවත ව්‍යාප්ත විය හැකි තත්ත්වයන් වැළැක්වීමට රජය පියවර ගෙන ඇති බව ද ඇමැතිවරිය පැවසුවාය.

මිනුවන්ගොඩ පොකුර ඇති වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ බවත් එහිදී අනාවරණය වූ කරුණුවලින් පළමු රැල්ලේ ව්‍යාප්තියට වඩා වෙනස් වූ වෙෙරස් ප්‍රභේදයක් රට තුළ දැනට ව්‍යාප්ත වන බවට සොයා ගත් බවත් ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

යුරෝපා රටවල් ආශ්‍රිතව පවතින වෙෙරස් ප්‍රභේදයක් මෙරට ව්‍යාප්ත වෙමින් පවතින බවට පරීක්ෂණ කරුණුවලින් අනාවරණය වූයේ යැයි ද ඇමැතිවරිය කියා සිටියාය.

Read more

Local News