ලකුණු 36කට දැවී ගිය ඉන්දීය දෙවැනි ඉනිම

Share

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය දෙවැනි ඉනිමේ දී, ඉන්දීය කණ්ඩායම ලකුණු 36කට දැවී ගොස් තිබේ.

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

අද දිනයේ ඉන්දීය දෙවන ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වූ අතර ඉන්දියාව ටෙස්ට් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව එය වේ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 191ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව සිය දෙවන ඉනිම ඇරඹුවේ ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 53ක් ඉදිරියෙන් පසුවෙමිනි.

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 9ක් රැස් කරගෙන සිටි ඉන්දීය සියලු ක්‍රීඩකයන් විනාඩි 45ක් තුළ දවා ගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව ඉන්දිවයාවට සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 36ක් පමණයි.

ඉන්දීය දෙවන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ මායන්ක් අග්‍රාවාල් ලකුණු 9ක් රැස් කළේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ජෝෂ් හසල්වුඩ් ලකුණු 8ට කඩුලු 5ක් දවාගත් අතර පැට් කමින්ස් ලකුණු 21 ට කඩුලු 4ක් දවාගත්තේය.

මීට පෙර ඉන්දියාව 1974 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 42කට දැවි ගොස් තිබේ.

Read more

Local News