මෙරටින් හෙළි වූ බේබි ෆාම් ජාවාරම

Share

ළමුන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ, අලුත උපන් දරුවන් 30 දෙනෙකු අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇති බවයි.

මේ අතර ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු 47 හැවිරිදි පුද්ගලයා ඊයේ (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු අද(22) දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කරන ලද වීඩියෝවක් මගින් සැකකරු එම ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් තිබේ.

විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බව ද සඳහන් කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් සොයා ගත් බව ද පැවසීය.

එයින් 5 දෙනෙකුගේ දරුවන් ඒ වන විටත් තුන්වන පාර්ශවකට ලබා දී අතර, තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්, තවත් ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එවැනි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ මේ වන විට විකුණා ඇති බව අනාවරණය වී ඇති බවය.

 

Read more

Local News