මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට තායිලන්තයට ආරාධනාවක්

Share

වැවිලි හා කෘෂිකාර්මික අංශයේ ආයෝජනය සඳහා තායිලන්තයට වැඩි හැකියාවක් පවතින බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

 

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ට්සුවාන් මහත්මිය සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම යෑමට පෙර විදේශ අමාත්‍යවරයා හමුවී මේ සමිබන්ධයෙන් හා දෙරටට වැදගත් තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකචිඡා කළහ.

මෙම හමුවේ දී විදේශ අමාත්‍යවරයා හා තානාපතිනිය අතර දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරිම සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරුණි. ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා ඉදිරියට ගෙනයාම සඳහා 2018 දී අත්සන් තබන ලද උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම තුළින් වෙළඳ ගිවිසුමේ භාවිතයට නොගත් ක්ෂේත්‍ර යළි පණගැන්වීමට හා වේගවත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ අමාත්‍යවරයාට සිය සුබ පැතුම් එක් කරමින් තානාපතිවරිය කියා සිටියේ ඇය ශ්‍රී ලංකාවේ වසර තුනක් සහ මාස හතක් සේවය කර ඇති බවත්, සිය ධූර කාලය තුළ දී විශිෂ්ට සබඳතා ගොඩනඟා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලාන්තර සබඳතා ගොඩනඟා ගැනීමටත් ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවයි.

විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා දෙරට අතර මිත්‍ර සබඳතා පිළිබඳව අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ බිම්ස්ටෙක් වැනි ජාත්‍යන්තර සංසදවල දී ශ්‍රී ලංකාව සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් තායිලන්තයට සිය ස්තූතිය පුද කළේය. බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිත්වය සඳහා තායිලන්තය ශ්‍රී ලංකාවට සිය උපරිම සහයෝගය ලබා දෙන බවට තානාපතිවරිය සහතික වූවාය. කල්‍යාණ මිත්‍ර ජාතියක් ලෙස තායිලන්තය දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාව සමඟ එක්ව සිට තිබේ.

බෞද්ධාගමික, පුහුණු හා දැනුම හුවමාරුව යන අංශයන්හි දී තායිලන්තය ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති සංවර්ධන සහයෝගීතාවය වෙනුවෙන් ස්තූති කළ අමාත්‍යවරයා, තායිලන්තය විසින් සපයනු ලබන කෘෂිකර්මාන්තය සහ පුහුණුව ශ්‍රී ලංකාව සඳහා ඵලදායී වී ඇති බව පැවසීය.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රධාන සම්බන්ධක බලවේගය බුද්ධාගම බව පැවසූ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, බොහෝ ශ්‍රී ලාංකිකයන් සංචාරක කටයුතු හා ව්‍යාපාර සඳහා බැංකොක් වෙත යන බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වර්ධනය වන සම්බන්ධතාවය ඔවුන්ගේ සබඳතා සඳහා ප්‍රයෝජනවත් වන බව සඳහන් කළේය. එපමණක් නොව, අතීතයේ දී ඉහළ නිලධාරීන් නිරත වූ සංචාර මඟින් ශ්‍රී ලංකා තායිලන්ත සබඳතා දිරිගන්වා ශක්තිමත් කළ බවත්, එවැනි සංචාර අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් තවදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසීය.

Read more

Local News