කොරෝනා මූලාරම්භය සොයා විද්‍යාඥ කණ්ඩායමක් චීනයේ වුහාන් වෙත

Share

කොරෝනා රෝගයේ මූලාරම්භය සෙවීමේ පරීක්ෂණ කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එවන ලද විද්‍යාඥ කණ්ඩායම ඊයේ (14) චීනයේ වුහාන් නගරයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ පිරිස මෙසේ පැමිණියේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන බලධාරීන් අතර මාස ගණනාවක් පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.

අදාළ වසංගතයේ ආරම්භයට සම්බන්ධ වූ පර්යේෂණ ආයතනවල, රෝහල්වල සහ මුහුදු ආහාර වෙළෙඳපොළේ සිටින අය සම්මුඛ පරීක්ෂණයට ලක් කරමින් තොරතුරු රැස්කිරීමට විද්‍යාඥ පිරිස බලාපොරොත්තු වෙති.

කණ්ඩායමේ සිටින විද්‍යාඥයන් ගණන 10කි. වුහාන් නගරයෙන් මුලින්ම කොවිඩ් -19 හඳුනාගත්තේ 2019 වසරේදීය.

මේ අතර කොරෝනා වෙෙරසය පාලනය කළ රටක් ලෙස හැඳින්වෙන චීනයේ හිබෙයි පළාත තුළ මේ වනවිට නැවත වරක් කොරෝනා වෙෙරස පැතිරෙමින් තිබෙන අතර වෙෙරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගුලුදමා ඇත.

මිලියන 20 කට වැඩි පිරිසක් එම ලොක්ඩවුන් සීමාවලට යටත්ව තිබෙන මාස අටකට පසු චීනයෙන් ‘කොවිඩ්-19’ වෙෙරස ආසාදිත මරණයක් ඊයේ (14) දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම මරණයත් සමඟ චීනයෙන් ඊයේ දිනය වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,635ක් ලෙස සටහන් විය.

කොරෝනා වෙෙරස ආසාදිත එම මරණය වාර්තා වී ඇත්තේ එරට හිබෙයි පළාතෙනි.

චීනයෙන් අවසන් වරට නව කොරෝනා වෙෙරස ආසාදිත මරණයක් වාර්තා වූයේ ඉකුත් වසරේ මැයි මාසයේ දීය.

ගෝලීය අර්බුද රැසක් ආරම්භ කළ වෙෙරස ගෝලීය වසංගතය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පිරිසක් මේ වනවිට වූහාන් නුවරට පැමිණ සිටිති.

කොරෝනා වෙෙරසය පිළිබඳ මුලින්ම වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

ඒ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී. වසරකටත් වැඩි කාලයක් ගත ව තිබුණ ද වෙෙරසයේ ආරම්භය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.

වෙෙරසය ආසාදනය වී ඇතැයි මතු වූ සැකයක් හේතුවෙන් චීනය බලා ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමේ දෙදෙනකු සිංගප්පූරුවේ නැවැති ඇති අතර ඉතිරි පිරිස අද වූහාන් නුවරට ළඟා වූහ. මේ වනවිට ඔවුන්, ඔවුන්ගේ සති දෙකක නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ පැමිණීම චීනයේ රාජ්‍ය රූපවාහිනි නාලික ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. වයිරසයේ ආරම්භය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම චීනයට පැමිණීම මුල් කරගනිමින් චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පසුගිය දිනවලදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මත ගැටුම් ඇති විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක නායකයන් කිහිපදෙනකු ද වෙෙරසය සම්බන්ධයෙන් තොරතුරු සැඟවූ බවට චීනයට චෝදනා එල්ල කර ඇත. මේ තත්ත්වය හේතුවෙන් වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවධාරණය කර ඇත.

චීනය මේ වනවිට එරට වෙෙරස ආසාදිතයන් කාණ්ඩ දෙකක් යටතේ වාර්තා කරයි. එනම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වශයෙනි.

ඒ අනුව වෙෙරස ආසාදිතයන් 138ක් වාර්තා වූ අතර ඊට අමතරව රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන වෙෙරස ආසාදිතයන් 78 දෙනකු වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ඊයේ (14) නිවේදනය කළේය.

ඉකුත් මාර්තු මාසයෙන් පසු චීනයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද එය වේ.

චීනයේ චන්ද්‍ර නව වර්ෂ නිවාඩු සමය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර එයත් සමඟ දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩිවීමේ අවදානමක් ද නිර්මාණය වී තිබේ.

චීනයේ චන්ද්‍ර නව වර්ෂය පෙබරවාරි 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර මිලියන 50කට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමට චීන බලධාරීහු බලාපොරොත්තු වෙති.

Read more

Local News