සබරගමු පළාතේ සංවර්ධන කටයුතු වෙනම අමාත්‍යාංශයක් යටතට පත්වීම කාලෝචිත පියවරක් – සෙනෙවිරත්න මහතා

Share

සබරගමු පළාතේ සංවර්ධන කටයුතු වෙනම අමාත්‍යාංශයක් යටතට පත්වීම කාලෝචිත පියවරක් බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

හැම පළාතකටම පාහේ ඒ ඒ පළාත්වල සංවර්ධන කටයුතු භාරව කටයුතු කරන අමාත්‍යාංශ හෝ ආයතන තිබුණාට මේ දක්වාම සබරගමුව පළාතට එහෙම අමාත්‍යාංශයක් හෝ වෙනම ආයතනයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඒ අඩුව මැනවින්
වටහා ගෙන සබරගමුව පළාතේ සංවර්ධනය බාරව අමාත්‍යාංශයක් පිහිටුවීම පිළිබඳව අපි අපේ ගෞරවය අතිගරු ජනාධිපතිතුමාට පිරිනැමිය යුතුයි. සබරගමුව පළාත කියල කියන්නෙ ඉතාම ලස්සන පළාතක්. බැලූ බැල්මට ලස්සන පළාතක් උනාට මේ පළාතේ ක්‍රමානුකූල සංවර්ධනයක් දකින්න නැහැ. පළාතක් තුළ තිබිය යුතු අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ගොඩක් තැන්වල නැහැ.

ගංවතුර කාලයට ඕන තරම් වතුර තිබුණට මේ පළාතේ ගොඩක් තැන්වලට පිරිසුදු පානීය ජලය නැහැ. ඒ නිසා තමයි මම මහන්සි වෙලා රත්නපුර විසල් ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරුවේ. එහි සම්පූර්ණ වැඩ කටයුතු තව ටික කලකින් අවසන් උනාම රත්නපුර සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාවට පැය විසිහතරේම පිරිසිදු පානීය ජලය ලැබේවි. පළාතේ අනෙක් ප්‍රදේශවලත් ඒ විදිහටම පිරිසිදු පානීය ජලය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරනවා. සබරගමුව පළාත තුළ ලක්ෂ 18 ක් පමණ ජනගහණයක් ඉන්නවා. එයින් ලක්ෂ 11 ක් පමණ ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ.

එතරම් ජනගහණයක් නියෝජන කළද මේ පළාතේ බොහෝ ග්‍රාමීය මාර්ග දැඩි ලෙස අබලන්. කොළඹ දිස්ත්‍රික්කයේ ද්‍රරිද්‍රතාවය 0.9%ක් වෙනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය 6.8%ක්. කෑගල්ලේ 7.1%ක්. රත්නපුර දිස්ත්‍රික්කයේ ජීවත්වෙන ලක්ෂ 11කට ආසන්න ජනතාවකගෙන් සමෘද්ධිය ලබන අය 110,925ක් ඉන්නවා. එහෙම පළාතක් මේක. තව නොයෙකුත් අඩුපාඩු මේ පළාතේ තිබෙනවා. ඒ වගේම ජනතාව මුහුණ දෙන නොයෙකුත් පොදු ප්‍රශ්න තිබෙනවා.

මේ කාර්යාලයේ වැඩ කටයුතු කරගෙන යාමට මේ වසර සඳහා අපට ලබාදීල තියෙන්නෙ රුපියල් මිලියන 500 ක් පමණයි. මේ මුදල කොහෙත්ම ප්‍රමාණවත් නැහැ මේ ඔක්කොම වැඩ කරන්න. ඒ නිසා ඉදිරියේදී අපට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපි පියවර ගන්නවා. ඒ නිසා ඔක්කොම වැඩ කටයුතු එක සැරේම කෙරේවි කියල හිතන්න එපා. යැයිද අමාත්‍ය සෙනෙවිරත්න මහතා පැවසීය.

Read more

Local News