ධීවර පවුල් 07ක සාමාජිකයින් 24 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 70ක වන්දි මුදල් – අමාත්‍ය මහින්ද අමරවීර

Share

ධීවර පවුල් 07ක සාමාජිකයින් 24 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 70ක වන්දි මුදල් ලබා දීම පෙරේදා (28) දින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු කෙරිණි.

2017 වසරේ ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අයහපත් කාලගුණික තත්ත්වයන් මෙන්ම වෙනත් හදිසි අනතුරු තත්ත්වයන් නිසා මරණයට පත් වු ධීවරයින්ගේ පවුල් සඳහා මෙසේ වන්දි මුදල් පිරිනැමිණි.

රාජ්‍ය රක්ෂණ භාර අරමුදල මගින් මෙම මුදල් පිරිනැමුණු අතර සෙලින්කෝ රැකවරණය ලබා ඇත්නම් ඔවුන්ට තවත් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා ගත හැකිය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ලෝකයේ තිබෙන අවදානම් සහගත රැකියාවලින් දෙවන ස්ථානය හිමි වන්නේ ධීවර කටයුතු සඳහා මුහුදු යාම බවයි. එවැනි අවදානම් සහගත රැකියාවක් කරමින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ධීවර ප්‍රජාව විසින් උපයා දෙනු ලබන බවත්, රජය විසින් ආරක්ෂිත ධීවර කර්මාන්තයක් තහවුරු කිරීම සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බවයි.

ඒ යටතේ දිවි සයුර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සියලුම ලියාපදිංචි ධීවරයින් රක්ෂණාවරණයකට ලක් තිබේ. පසුගිය වසර තුළ මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභීන් 132කට වන්දි ප්‍රදානය කිරීමට රජය පියවර ගත් බව ද අමාත්‍යවරයා කීය.

වර්තමානය වනවිට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයා ආරක්ෂා කර ගැනීම සඳහා අපි රජය වශයෙන් විශාල වැඩ කොටසක් කර තිබෙනවා. ඒ එකක් තමයි මේ දිවිසයුර රක්ෂණ ක්‍රමය. මේ රක්ෂණ ක්‍රමයට අමතරව අපි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ තවත් රක්ෂණ ක්‍රමයකට ඇතුල් වෙන්න කියලා. අපි රජය වශයෙන් ජාතික රක්ෂණ භාරය මගින් ලබා දෙන ආවරණය ලබා දෙනවා. නමුත් තවත් රක්ෂණාවරණයක් ලබා ගතහොත් එහි විශාල වාසියක් තිබෙනවා.
කෙසේ වුවත් වර්තමානයේ ධීවර කර්මාන්තය රටේ අවදානයට යොමු වී තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්. මෙම අංශය තුළ කටයුතු කිරීමට විශාල පිරිසක් අද ඇදී එනවා. ධීවර කර්මාන්තය රටේ සංවර්ධනයට උරදෙන වෙනම අංශයක් වශයෙන් සංවර්ධනය වෙමින් තිබීම අප වැනි රටකට විශාල වාසිදායක තත්ත්වයක් යැයිද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News