හම්බන්තොට ගොවි, ධීවර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා රු. මි. 300ක උපකරණ – අමාත්‍ය මහින්ද අමරවීර

Share

ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා ගොවිජනතාවගේ ජීවන තත්ත්වයන් උසස් කරලීම සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම අද (09) හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

එම උත්සවයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු තරන්ජිත් සින්ග් සිදු යන මහත්වරු සහභාගි වේ.

ශ්‍රී ලංකා රජයත් ඉන්දීය රජයත් එක්ව හම්බන්තොට ධීවර හා ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා මෙම පියවර ගනු ලැබීය. විශේෂයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉන්දීය රජයේ කරන ලද ඉල්ලීමක් අනුව මෙම ව්‍යාපෘතිය එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි. පී. සින්හා මහතාගේ උපදෙස් පරිදි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් එම කටයුතු සම්බන්ධීකරණය කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන රැසක් එම ජනතාවට ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව උදළු තල 60,000ක්, බයිසිකල් 7000ක්, ධීවර ජනතාවට ජීවිතාරක්ෂක කබා 9000ක්, ධීවර වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට මහණ මැෂින් 1000ක් ද පිරිනැමීමට නියමිතය. මෙම සමස්ත ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 300ක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more

Local News