ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සූදානම්

Share

අම්බලන්තොට දෙහිගහලන්ද වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාව ඊයේ (29) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණයට ලක් කළේ ය.

එහිදී අමාත්‍යවරයා ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට කටයුතු කරන්නැයි තමන් වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ප්‍රකාශ කළේ ය.

පසුගිය මාස් කන්නයේ නෙලා ගන්නා ලද වී අස්වනු ද මේ වන විට වෙළඳපොළට ලැබෙමින් පවතින අතර, ඇතැම් ව්‍යාපාරිකයින් ගොවීන්ගේ වී අස්වනු අඩු මිලට මිලදී ගන්නා බව ගොවිජනතාව අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවිජනතාව ගසාකෑම වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් පියවර ගන්නා අතර, කිසිදු සීමාවකින් තොරව ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීම සඳහා රජය ප්‍රත්තිමය තීරණයක් ගෙන ඇත. ඒ අනුව රජයේ සහතික මිල යටතේ, ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා වන නීතීඥ උපාලි මොහොට්ටි මහතා ඇතුළු කාර්යමණ්ඩලයට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා වීවල තෙතමනය පරීක්ෂාවට ලක්කරන අතර, එහිදී බොහෝ ගොවීන්ට අපහසුතාවලට මුහුණපෑමට සිදු වී ඇත.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් වී ගබඩා ආශ්‍රිතව වී වේලීමේ යන්ත්‍ර  පද්ධතියක් සවිකිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව වීවල වේලුම් මට්ටම 14% ක ප්‍රතිශතයෙන් පවත්වාගෙන යාම සඳහා මෙම යන්ත්‍ර පද්ධතිය සවිකිරීම තුළින් ගොවිජනතාවට කිසිදු පීඩාවකින් තොරව එම වී අස්වැන්න වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට හැකිවන අතර, ඉහළ මිලක් ගොවීනට ලබාගත හැකි වේ.

වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගනු ලබන්නේ විශේෂයෙන්ම ගොවීන්ට ඔවුන්ගේ වී අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණෙන්ම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News