ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් සහ ඩික්ස්මුඩ් යන නෞකාවන් කොළඹ වරායට

Share

ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් සහ ඩික්ස්මුඩ් යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (18) උදෑසන  කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
තවද, ඩික්ස්මුඩ් නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන්, ජීන් පෝචර් මහතා කටයුතු කරනු ලබන අතර, කොමාණ්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලබයි. ඒ අනුව, කාන්තා නිලධාරීනියක් අණදෙනු ලබන යුද නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරිනියක් යුද නෞකාවක සම්බන්ධතා නිලධාරිනියක් ලෙස කටයුතු කරනු ලබන පලමු අවස්ථාව ද මෙය ලෙස සනිටුහන් විය. එමෙන්ම නෞකාවන්හි අණදෙන නිලධාරින් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථා‍ව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
තවද, ප්‍රංශයේ නාවික හමුදා නිලධාරින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් එක්ව මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් හා මුහුදේ සිදුවන යුධමය නොවන මෙහෙයුම් සම්බන්ධ තත්ත්වය පිළිබඳ වෘත්තීමය මට්ටමේ අදහස් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දසදෙනෙකු සහභාගි වීමට නියමිතය.
එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගීවන අතර, අනතුරුව එම නෞකාවන් අද සවස දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.

Read more

Local News