එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් උතුරු කොරියාවට නව සම්බාධක රැසක්

Share

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකඡන්දයෙන් සම්මත කරනු ලැබූ මෙම සම්බාධක තම රටේ “ස්වෛරීභාවය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක්” බව උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය පවසයි.

තම රටට එරෙහිව නව සම්බාධක පැනවීම වෙනුවෙන් “එකට එක” කරන බවට උතුරු කොරියාව තරයේ කියා සිටී.
අලුතින් තහංචි දැමීම හේතුවෙන් “එක්සත් ජනපදය විසින්ම වන්දි ගෙවීම සිදුවන ආකාරයට” තමන් කටයුතු සලස්වන බවට උතුරු කොරියාව සපථ කර සිටියේය.
මේ අතරතුර දකුණු කොරියාව කියා සිටියේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා තමන් කළ යෝජනාව “අවංක යෝජනාවක් නොවන” බව පවසමින් උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවය.
පසුගිය සෙනසුරාදා (අගෝස්තු 05) පනවනු ලැබූ නව සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ අපනයන ආදායම තුනෙන් එකකින් පහත වැටෙනු ඇත.

මෙම තහංචි පැනවීම සිදුවූයේ කලාපයේ දේශපාලන තත්වය උණුසුම් කරමින් උතුරු කොරියාව විසින් මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුවය.
“මෑත ඉතිහාසයේ, ඕනෑම රටකට පනවන ලද බරපතළ ම තහංචි මාලාව” මෙය බව එක්සත් ජාතීන් වෙනුවෙන් සිටින ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හේලි පැවසුවාය.
“අපරාධයට දහස් වාරයක් වන්දි”
මෙම අලුත් තහංචි පැනවීමෙන් මද වෙලාවකට පසුව චීනය කියා සිටියේ උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් නතර කළයුතු බවය. චීනය සැලකෙන්නේ උතුරු කොරියාවේ ජාත්‍යන්තර මිත්‍රයා ලෙසිනි.
නමුත් නව සම්බාධක පැනවීමට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව කියා සිටියේ තම න්‍යෂ්ටික අවි වැඩසටහන දිගටම කරගෙන යන බවය.

Read more

Local News