පොළොන්නරුව ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙවන දින මහජන වන්දනාමානය සදහා ජනපති අතින් විවෘත කෙරේ

Share

පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙවන දිනයට ද ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මෙම ධාතුන් වහන්සේ වැඩම කරවා තිඛෙන අතර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුටියේ තැන්පත් කර ඇති සර්වඥ කේෂ ධාතුන් වහන්සේ, සර්වඥ අස්ථී ධාතුන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතුන් වහන්සේ මෙලෙස ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා නිරාවරණය කර තිබේ.

අස්ගිරි ගෙඩිගේ විහාරවාසී පූජ්‍ය පල්ලේවෙල රතනපාල හිමිපාණන් වහන්සේ විසින් මෙහි ආගමික වතාවත් සිදුකළහ. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යටිහලගල රජමහා විහාරාධිකාරී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදුකළහ.

ඇලහැර, බකමූණ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, චතුරිකා සිරිසේන යන මහත්ම මහත්මින් ඇතුථ පිරිසක් ද එක්ව සිටියහ.

පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය ජූනි 27,28,29 සහ 30 යන දිනවල පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේදී පැවැත්වේ.

Read more

Local News