මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනපති එක්වෙයි

Share

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 73 වන මහ සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍යල බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වී ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මහතා විසිනි.
මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයන් වෙත ශ්‍රී ලංකාව සහය දක්වන බව ද එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් සදහන් ව තිබේ.

එමෙන්ම ජාතික මධ්‍යසාර හා දුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පත්කිරීම, මධ්‍යසාර ප්‍රචාරක දැන්වීම් තහනම් කිරීම යනාදි වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මධ්‍යසාර මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සඳහන් වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප්‍රතිපත්තිය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙසට ජනාධිපතිතුමා විසින් සියලු ජාත්‍යන්තර නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

මෙහිදී සභාව ඇමතූ එස්ටෝනියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රකාශය පිළිබඳ ප්‍රශංසා කළ අතර ලොවටම ආදර්ශයක් වන එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය ස්තුතිය ද පළකළේය.

Read more

Local News