”අගමැති”, ”ඇමැති” දාලා වැඩ වරද්දගන්න එපා- මංගල මාධ්‍යයට අනතුරු අගවයි

Share

 

විශ්වාස භාංගයෝජනාවකින් ආණ්ඩුව පරාජය කර තිබියදී මන්ත්‍රීවරුන්ගේ නම් සමග ‘අගමැති’, ‘අමාත්‍ය’ යන නාමයන් භාවිත කරන මාධ්‍යයන්ට එරෙහිව නීත්‍යාන්කූලව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර කියයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව පවසා ඇත. එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් මෙලෙස සඳහන්ව ඇත.

”කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය යන තනතුරු නාමය භාවිත කිරීම සහ ජනමාධ්‍ය තුළ ඒ ආකාරයෙන් ප්‍රචාරය කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීයි සහ සදාචාරාත්මක නොවන මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවකි.

එසේම පසුගිය 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල නොවන බව ඊයේ (14) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48. (2) වගන්තිය (පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළ හොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ හොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.) ප්‍රකාරව, ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122කගේ අති බහුතරයක් විසින් සම්මත කොට අවලංගු ආණ්ඩුවක් බව තීන්දු කළේය.

එසේම අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ගරු කතානායකවරයා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයෙක්, සභානායකවරයෙක් හෝ විපක්ෂනායකවරයෙක් නොමැති බව සිය කතාව තුළින් අවධාරණය කර සිටියේය.

එසේ තිබිය දී ඇතැම් ජනමාධ්‍ය තවමත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමත් සමග අගමැති යන තනතුරු නාමය භාවිත කොට සිය ප්‍රචාරණයන් සිදුකිරීම නීති විරෝධී කටයුත්තකි. එමෙන්ම එකී ක්‍රියාව තුළින් ගරු මන්ත්‍රීවරු සතු පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද පෙන්වා දෙමි.

ඒ අනුව ඇතැම් ජනමාධ්‍ය ප්‍රචාරයන් තුළ මන්ත්‍රීවරුන්ගේ නම් සමග ‘අගමැති‘ නාමය හෝ ‘අමාත්‍ය‘ යන නාමයන් භාවිත කිරීම බරපතළ වරදක් බවත්, හිතාමතා දිගින් දිගටම එසේ සිදුකිරීමට එරෙහිව ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

මංගල සමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රී”

Read more

Local News