ජනපති සමඟ එජාප‍ෙ යළි සාකච්ඡා කරයි ?

Share

නැවත වරක් ජනාධිපතිවරයා සමඟ අමාත්‍යාංශවලට ආයතන බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති බව වාර්තාවෙයි.

නව ආණ්ඩුවේ අමාත්‍යාංශවලට අයත් ආයතන සඳහන් කරමින් ජනාධිපතිවරයා පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එහිදී ඇතැම් අමාත්‍යාංශවලට ආයතන විශාල ප්‍රමාණයක් වෙන්කර ඇති අතර, සමහරක් අමාත්‍යාංශ සඳහා ආයතන සුළු ප්‍රමාණයක් වෙන්කර තිබේ.

මෙලෙස ආයතන වෙන් කිරීම සම්බන්ධයෙන් ආමාත්‍යවරුන් සිය අප්‍රසාදය පළකර ඇති බවද වාර්තා වේ.

ආණ්ඩුවේ සියලු අමාත්‍යාංශවලින් වැඩි වැඩ ප්‍රමාණයක් සිදුකළ හැකි ආකාරයට ආයතන වෙන්කළ යුතු බවට අමාත්‍යවරුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මේ හේතුවෙන් අමාත්‍යාංශ සඳහා විෂයයන් බෙදාදීම සම්බන්ධයෙන් යළිත් වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත බවද සඳහන් වෙයි.

මේ අතර රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍යාංශ විෂයයන් ගැසට් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමාට හිමි වූයේ බෝඩ්ලෑලි ආයතන පමණක් යැයි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (02) දින පැවති කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුව තිබේ.

එම ගැටලුවට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන්  ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ කාර්යක්ෂ්මව වැඩ කිරීමට හැකි ආකාරයට අමාත්‍යාංශ විෂයයන් බෙදීම පිළිබඳ නැවත වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

“ඇතැම් අමාත්‍යාංශවලට සුළු ආයතන ප්‍රමාණයක් දාලා තිබෙනවා. ඇතැම් ඒවාට විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ විදිහට වැඩ කරන්න අමාරුයි කියලා ප්‍රායෝගිකව බැලුවාම තේරෙනවා.  මේ නිසා ජනාධිපතිතුමාත් සමග කතා කරලා විෂයයන් නැවත වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. වෙනස්කම් යෝජනා කරන්නත් බලාපෙරොත්තු වෙනවා” යනුවෙන්ද ඒ මහතා පැවසීය.

Read more

Local News