ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට නව කමිටුවක්

Share

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට භාරදීමට ඒ අනුව සියලු පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ.

සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතව මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා  තීරණය කර තිබෙන අතර සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට එළැඹෙන බව ද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ අද (04දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදිය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විධිමත් ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබිණි.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් ඉදිරියේ දී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මේ වන විට කි‍්‍රයාවට නංවා තිබෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන් අතර, ආයතනය පසුගිය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීමට හේතු වූ කරුණු හා දැනට මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳවත්, එහි වත්මන් කි‍්‍රයාකාරිත්වය පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම් පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලාපයේ මුදල් අවප‍්‍රමාණයට ලක්වීම,  තාක්ෂණික හා යටිතල පහසුකම් ඌනතාව වැනි කරුණු හේතුවෙන් ඇතිවූ බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

Read more

Local News