71 වන ජාතික දිනය අද අභිමානවත්ව සැමරේ

Share

71 වැනි ජාතික දින උළෙල අද(4) කොළඹ, ගාලුමුවදොර  අභියස දී අභිමානවත්ව පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නිදහස් දින උළෙල පැවැත්වෙයි.

මේ අවස්ථවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලික් මැතිතුමා සහ ෆස්නා අහමඩ් මැතිණිය සහභාගීවීම සුවිශේෂී සිදු වීමයි.

ජාතික දින සැමරුම පෙ.ව. 8.00ට ආරාධිත අමුත්තන් සිය ආසනවල අසුන් ගැනීමෙන් අනතුරුව ආරම්භ වෙයි. ඉන් අනතුරුව සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම සිදු  වෙයි. අග්‍රාමාත්‍යවරයා, මාලදිවයින ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වෙයි. ඉන් අනතුරුව මඟුල් බෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීම සිදු කරයි.

පාසල් සිසුසිසුවියෝ විසින් ජාතික ගීය ගායනා කිරීම සිදු කරන අතර ජයමංගල ගාථා ගායනා කිරීම සිදු කෙරේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික  අඛණ්ඩතාවය, තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලු ම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් පැවැත්වෙයි.

ඉන් අනතුරුව ජනාධිපති උත්තමාචාරය සිදු කරයි. ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරේ. ඉන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ජාතිය ඇමතීම සිදු කරයි.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ශිෂ්‍ය භට බලකාය, විසින් පවත්වනු ලබන ආචාර පෙළපාලිය සහ සංස්කෘතික උළෙල වර්ණවත් කරයි පාසල් සිසු සිසුවියන් 110 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දෙමළ බසින් ජාතික ගීය ගයනා කිරීමේ අනතුරුව අභිමානවත් ජාතික දින උළෙල නිමාවට පත්වෙයි.

Read more

Local News