ඥානසාර හිමිට පොදු සමාවක් නෑ

Share

ජාතික නිදහස් දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ඉවත් කරන ලෙස මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉල්ලා තිබුණද, ඥානසාර හිමියන්ට අද (04) දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

වසර 10කට වැඩි කාලයක්සි රදඬුවම ගෙවා ඇති වයස අවුරුදු 70ට වැඩි සිරකරුවන්ට හා සුළු වැරදි හා දඩ ගෙවාගත නොහැකිව සිරදඬුවම් විඳින සිරකරුවන් පිරිසකට ජනපති පොදු සමාව යටතේ  අද (04දා) දිනයේදී නිදහස ලැබෙනු ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

ස්ත්‍රී අපයෝජන, මත්ද්‍රව්‍ය වැරදි, සංවිධානාත්මක අපරාධ සහ බරපතළ චෝදනා යටතේ සිරදඬුවම් විඳින කිසිදු පුද්ගලයෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමි නොවන බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබානොදෙන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙන බවයි.

ඥානසාර හිමියන් නිදහස් කළයුතු බවට ජනාධිපතිවරයා මීට පෙර තමන් වහන්සේලා සමග ප්‍රකාශ කළ බවත්,ඒ අනුව අද (04දා) දිනයේදී උන්වහන්සේ නිදහස් කරනු ඇතැයි විශ්වාස කළ බවත් එහිමියෝ පවසා සිටියහ.

තවදුරටත් ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තබන බවත්, ඥානසාර හිමියන් නිදහස් කිරීමේ තීරණය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බවත්උන්වහන්සේ පැවසූහ.

Read more

Local News