ඝාතනය කර කලාඔයට විසිකල දැරිය සොයා සෝදිසි මෙහෙයුම්

Share

ඉකුත් දින පුත්තලම සාලියවැව ප්‍රදේශයේ අතුරුදන්ව සිටින සිව්හැවිරිදි දැරියගේ මව පොලිසිය භාරයේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව සාලියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඉදුනිල් රණවීර මහතා පැවසීය.

ඒ අදාල කාන්තාව පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. ද සිල්වා මහතා ලබාදුන් අවසරයක් මතයි.

අද (05) දින දැරියගේ මව පුත්තලම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමටද නියමිතයි.

පුත්තලම සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව්හැවිරිදි තෙනුරි තිසාරා දැරිය ඉකුත් බදාදා උදෑසන සිට අතුරුදන් බවට ඇයගේ මව විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව සාලියවැව පොලිසිය,සිවිල් ආරක්ෂක බලකා භට පිරිස් හා ප්‍රදේශවාසීන් එක්ව දැරිය සොයා සෝදිසි කිරිම් ආරම්භ කළේය.

එම උත්සාහයන් අසාර්ථක වූ අවස්ථාවේදී ගම්වාසීන් අතුරුදන් වූ දැරියගේ මවට දෝෂාරෝපණය කරන්නට වූ පසුබිමක ඇය පොලිසියට පාපෝච්චාරණය කර ඇත්තේ සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.

ඒ අනුව නාවික කිමිදුම්කරුවන්ද යොදා ගනිමින් කළාඔයේ ඇතුලු කෑලෑ බද ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඊයේ (04) පස්වරුවේ පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා දැරිය සෙවීමේ මෙහෙයුම් තාවකාලිකව නවතා දමා තිබේ.

පොලිස් නිලධාරින් නැවතත් දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read more

Local News