ස්ටිකර් මුද්‍රණ ජාවාරම ගැන ගම්මන්පිල හෙළි කරයි

Share

බදු මුදල් නොගෙවූ මත්පැන් නිෂ්පාදන වෙළෙඳ පොළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා ලබා දී ඇත්තේ කළු ලැයිස්තුගත දූෂිත ඉන්දිය සමාගමකට බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි.

පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දින කොළඹ පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවකදිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, “ආණ්ඩුවට බදු මුදල් නොගෙවා වෙළඳපොලට  නිකුත් කරන මත්පැන් බෝතල් නතර කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දුන්නා.  ඒක මේ වසරේ පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මකයි.  මේවා මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව හිමි වුණේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්  නැමැති ඉන්දියානු සමාගමකටයි.

මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්  කියන්නේ මෙම ස්ටිකරය කෙන්යාවට හඳුන්වාදී දූෂණ ගණනාවක් කළ කළු ලැයිස්තුගත සමාගමක්.

මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්  සමාගම කෙන්යාවේ ආණ්ඩුවට ස්ටිකර් සපයන ගමන් මත්පැන් නිෂ්පාදකයින්ටත් අඩු මිලට ස්ටිකර් හොරෙන් සැපයුවා.  දැන් හොර අරක්කු බෝතලේ තිබෙන්නෙත් ඇත්තම ස්ටිකර්.  ඒ නිසා ඒවා සුරාබදු නිලධාරීන්ට අල්ලා ගන්න බෑ.
මේ වංචාව නිසා මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්  සමාගමේ අධ්‍යක්ෂවරුන් නව දෙනෙකු අත්අඩංගුවට ගන්න කෙන්යාවේ වරෙන්තු නිකුත් කළා. මෙවැනි වංචනික සමාගමකට කොන්ත්‍රාතුව දුන්නේ කාගේ උවමනාවටද?

2016 දී ටෙන්ඩර් කැඳවලා මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්ට  කොන්ත්‍රාත්තුව ගියාම එහි පැවති අඩුපාඩු දැකලා ඇමති මණ්ඩලය යළි ටෙන්ඩර් කැඳවන්න කිව්වා.

නැවතත් තාක්ෂණික කමිටුවේ එකම තෝරාගැනීම වුණේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්.  එකම වෙනස 2016 ස්ටිකර් දාහකට ඩොලර් 3.19 මිළක් ඉල්ලූ සමාගම 2017 දී ඩොලර් 5.99 නැතිනම් පෙර මිල වගේ දෙගුණයකට ආසන්න මුදලක් ඉල්ලීම පමණයි.

ඒ නිසා මේ ජාවාරම පිටුපස සිටින්නේ කවුදැයි සෙවීම ජාතික වගකීමක්. අවංක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය පසුපස යන්නේ නැතිව මුදල් ඇමති තුමනි කරනවා නම් මෙන්න වැඩ.“ යැයි පැවසීය.

Read more

Local News