ඇන්ජලිනා ජොලී, රෝහින්ග්‍යාවරුන් හමුවෙයි

Share

බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල රැදී සිටින රෝහින්ග්‍යාවරුන් හමුවීම සඳහා සුපිරි නිළි ඇන්ජලිනා ජොලී පැමිණියේය.

කඳවුරුවල වාසය කරන සරණාගතයන් වෙනුවෙන් සහන සැලසීමට ජාත්‍යන්තරය අපොහොසත්ව ඇති බව ඇය චෝදනා කරයි.

මියන්මාරයේ සිට පළා ආ රොහින්ග්යා සරණාගතයන් බොහෝ පිරිසක් මේ වනවිට බංග්ලාදේශයේ කඳවුරුවල රැදී සිටියි.

එම පිරිස හමුවීම සදහා සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී පැමිණීමේ පුවත විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්වුණි.

ඇන්ජලීනා ජොලී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබද විශේෂ නියෝජිතවරියක්ද වෙයි.

මෙහිදී සිය අදහස් දක්වමින් ඇය පැවසුවේ, ලක්ෂ 7 ඉක්මවූ සරණාගතයන් දුෂ්කර දිවි ගෙවද්දී ඔවුන්ට සහාය වීමට ලෝ වැසියන් අපොහොසත්වීම කණගාටුවට කරුණක් බවය.

රොහින්ග්යාවරුන් වෙනුවෙන් සරණාගත රැකවරණ ලබාදීම සම්බන්ධයෙන් බංගලාදේශ රජයට ස්තූති කිරීමටත් ඇය එහිදී අමතක කළේ නැත.

සරණාගතයන්ට සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටමත් බොහෝ පියවර ගෙන ඇත.

මියන්මාර සරණාගතයන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙල සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 920ක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් එම ආයතනය කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

මියන්මාරය තුළ සිදුවන ප්‍රචණ්ඩකාරී කටයුතු හේතුවෙන් රෝහින්ග්‍යා සරණාගතයන් එරටින් පළාවිත් බංග්ලාදේශය ඇතුලු රටවල් කිහිපයක රැදී සිටියි.

ප්‍රධාන වශයෙන් බෞද්ධ ජනතාව වාසය කරන මියන්මාරය තුළ ඉස්ලාමීය රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව ජන සංහාරයක් සිදුවන බවටද විවිධ ජාත්‍යන්තර සංවිධාන චෝදනා කරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහින්ග්‍යාවරුන් හමුවීමට ගිය සුපිරි නිළි ඇන්ජලිනා ජොලී

Related image

Read more

Local News